කුණු කන්ටේනර් සිද්ධිය කුණු‍වෙන ලකුණු

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යැවීමට නොහැකි බවත් එසේ යැවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස් දීම බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක් වනු ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය වසර කිහිපය තුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ කසල කන්ටේනර් මෙරටින් පිටකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාල සමාගමට කරන ලද නියෝගය මෙරට ජනතාව හා මාධ්‍ය නොමග යැවීම සඳහා ගන්නා ලද උත්සාහයක් ලෙස තම සංවිධානය දකින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කසල ගෙන්වූ මහාපරිමාණ ව්‍යාපාරිකයා බේරා ගැනීමේ අදහසින් මධ්‍යම පරිසර අධිකාරිය හා ඊට වගකිවයුතු ආයතන දැඩි වෙහෙසක් ගන්නා ආකාරය නිරීක්ෂණය වෙමින් පවතින බවත් උක්ත සම්මුතියට අනුව කිසිම රටකින් තවත් රටකට එම රටේ නිසි අවසරයකින් තොරව කසළ අපනයනය කළ නොහැකි බවත් ලංකාවට කසළ ගෙන ඒමට නම් මධ්‍යම පරිසර අධිකාරියේ කැමැත්ත අනිවාර්යෙන්ම ලබා ගත යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙරටට කසළ ගෙන්වූ සමාගම් මධ්‍යම පරිසර අධිකාරියෙන් කසළ ගෙන්වීම සඳහා නිසි අවසරයක් ලබා ගෙන නැති බව පෙන්වා දෙන එම සංවිධානය පවසනුයේ මෙරටට කසළ ගෙන්වා ඇත්තේ එංගලන්තයෙන් පමණක් නොවන බවයි. වෙනත් රටවලින් කසළ ගෙන්වූ බවට වන කරුණුද තම සංවිධානය සතුව ඇති බවත් ඉදිරියේදී අප එම කරුණු හෙළිදරව් කිරීමට බලාපපොරොත්තු වන බවත් ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් මෙරටට කසළ ගෙන්වීම බාසල් ගිවිසුමට අනුව නීතිවිරෝධී වීම හා එම කසළ නැවත එම රටට යැවීමට උපදෙස් දීම බාසල් ගිවිසුම කඩකිරීමක් වන නිසා තම සංවිධානය ඒ පිළිබදව බාසල් ගිවිසුම භාර කටයතු කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයතු කරන බවද එහි දැක්වෙන අතර මෙරටට කසළ ගෙන්වූ සමාගම හා එම සමාගම ආරක්ෂා කිරීමට කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

(Image – slmedia.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *