ඔමික්‍රෝන් ආසාදිත මෙරට කාන්තාව නිරෝධායනයට

මෙරටින් හමුවු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

ලොව භීතියට පත් කළ ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත තරුණියක් පළමු වරට මෙරටින් හඳුනාගත්තේ පෙරේදා (03) දිනයේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ඇය නයිජිරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණේ පසුගිය 24 වැනිදාය.

මේ අතර මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (05) පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.

එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි 37 ලක්ෂ 63,844කි.

එය මෙරට ජනගහනයෙන් සියයට 63.8ක ප්‍රතිශතයකි.

එමෙන්ම තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමත් මේ දිනවල සිදුවෙයි.

මේ දක්වා තුන්වන එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා තිබේ.
මේ අතර දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 40 ඉක්මවා ඇත.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉහළ විකෘතිතා සහිත දරුණුතම කොවිඩ් ප්‍රභේදයක් ලෙස හඳුනාගත් නව ප්‍රභේදය හේතුවෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවය.

නව ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය මාසයේ මැද භාගයේදී එරටින් දිනකට හමුවූ ආසාදිතයන් ගණන 200 ත් 300 ත් අතර පැවති නමුත් මේ වනවිට එය 16,000 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබීම කැපී පෙනෙන වර්ධනයකි.

ඉන්දියාවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති අතර දකුණු කොරියාව, මැලේසියාව යන රටවලින්ද ආසාදිතයන් හමුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ යුරෝපයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයන් විය හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *