ඇල්පිටියේ විජයග්‍රහණය සහ සැබෑ ජනමතය

බොහෝ දෙනකු බලාපොරොත්තු දල්වා සිටි පරිදිම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 17ම අති විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ සටනට යළිත් අලුත් ජීවයක් ලැබී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

විශේෂයෙන්ම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලියට අති විශාල ජනකායක් ගාලු මුවදොර පිටියට පැමිණීමත් සමග එජාප පාක්ෂිකයන් හා සජිත් හිතවාදී පාර්ශ්වයන් රැසකට නව උත්තේජනයක් ලැබී තිබිණි. නමුත් සෙනග පෙන්වන තරමට ජයග්‍රහණය ලැබේදැයි යන්න පසුගිය මැතිවරණ ඉතිහාසය පිරික්සා බලද්දී දැකගත හැකිය. එවැනි අති විශාල ජනකායක් 2010 ජනපති සටනේදී දැකගත හැකිවූයේ සරත් ෆොන්සේකා මහතාගේ ජනරැලිවලය. නමුත් මැතිවරණයේදී අති බහුතර ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය.

ඇල්පිටිය මැතිවරණය මෙවර තීරණාත්මක සාධකයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට යම් තරමක හෝ ජනප්‍රසාදයක් නිර්මාණයවී ඇත්දැයි මැන බලා ගැනීමටය. එසේම අනෙක් පක්ෂවලටද තම තමන් සිටින ස්ථාවරය පිළිබඳ යම් හෝ දළ අදහසක් නිර්මාණය කරගැනීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. 2019 ජනපතිවරණයේදී ගෝඨාභය මහතා හා එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇල්පිටිය මැතිවරණයේදී තරග කළේ වෙනමය. ඒ අනුව ඔවුන්ට ජනතා විමුක්ති පෙරමුණ සිටි 3වැනි තැන හිමිව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ජනතා විමුක්ති පෙරමුණ ආසන 2ක් පමණක් දිනා ගනිමින් පත්වුයේ සිව්වැනි තැනටය. ඒ අනුව ජනපතිවරණයේදීත් ජනතා විමුක්ති පෙරමුණට අත්වන ඉරණම මනාව පැහැදිලිය. නමුත් අනුර කුමාරගේ ආගමනයත් සමග යම් කිසි ජනතා මනාපයක් ඔවුන්ට දිනාගැනීමට හැකිවනු ඇත. නමුත් එය ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට තරම් සමත් නොවනු ඇතැයි සිතිය හැකිය.

ඇල්පිටිය ඡන්දය දෙස විමර්ශනශීලීව බැලුවහොත් එහි කොට්ඨාස දෙක තුනක් හැරෙන්නට අනෙක් සියලු කොට්ඨාසවල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්දවල පරතරය අති විශාලය. සියලු පැතිවලින් පොදුජන පෙරමුණ ඉතා ඉහළ තැනක සිටී. බොහෝ දෙනකු තර්ක කරනුයේ ඇල්පිටිය මැතිවරණය යනු සමස්ත රටේ මැතිවරණ ප්‍රතිඵලය නොවන බවකි. නමුත් එය එක්තරා පැත්තකින් සත්‍ය වුවද මෙය බොහෝ ජනයාගේ මතය පිළිබඳ යම් කිසි දළ අදහසක් ලබාගත හැකි මට්ටමක පවතින්නකි. මෙය 2018 පෙබරවාරියේදී සිදුවිය. එවරද එජාපය බලාපොරොත්තු නොවූ අයුරින් සමස්ත රටින්ම ඔවුන් ප්‍රතික්ෂේප විය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සියලු දිස්ත්‍රික්කවල ජයග්‍රහණ ලබාගත්තේ කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරිනි. නමුත් සමස්ත ජනයා තුළ කැකෑරෙන ආණ්ඩු විරෝධී මතයක් වර්ධනය වෙමින් පැවතිණි. මේ වනවිට එය තවදුරටත් ඔඩුදුවා ඇති ආකාරය පෙනේ. ඇල්පිටිය මැතිවරණයෙන්ද පිළිබිඹුවූයේ එය බව සැලකිය හැකිය. සමස්ත රටේ අතිබහුතරයක් සිංහල බෞද්ධ ඡන්දය. දෙපාර්ශ්වයම මේ කෙරෙහි අවධානය යොමු කළද ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒවායින් බහුතරය හිමිවන බවට බොහෝ අනාවැකි පළවී තිබේ. නමුත් සජිත් ප්‍රේමදාස මහතා වටා අති බහුතර සුළුතර ජනතාව එක්වී සිටී. ඒ එක්වීම ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමේ හා විවිධ ගිවිසුම්වල ප්‍රතිඵලයකි. ඒ අනුව පසුගිය පාස්කු ප්‍රහාරයත් සමග ජනතාව ප්‍රතික්ෂේප කළ රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැන්නන් මෙන්ම ඔහුගේම හිතවාදී මව්වරුන් වඳ කිරීමේ චෝදනා ලත් වෛද්‍ය සාෆි පසුගියදා සජිත්ගේ මංගල රැලියේ වේදිකාවට ගොඩවිය. මේ පිළිබඳ ඇතැම් සිංහලයන්ට අමතකවුවද බොහෝ දෙනකුට ඒ සම්බන්ධයෙන් ඇත්තේ විවේචනයකි. මෙවැන්නන් වේදිකාවට ගොඩකරගැනීමෙන් සජිත්ගේ සුළු ඡන්ද ඇතැම්විට වැඩිවිය හැකි නමුදු සුළු ජනයාගෙන්ද අන්තවාදීන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ විවේචනයට මෙය බඳුන්වී ඇත.

එසේම සජිත් සිය වේදිකාවේදී ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ රජයක ආරක්ෂක ඇමැති ධූරය සරත් ෆොන්සේකාට දෙන බව කියා තිබිණි. නමුත් සරත් ෆොන්සේකා සිනාමුසු මුහුණින් එය බාරගත්තේ රිෂාඩ් බදියුදීන් වැළඳගනිමිනි. ඒ අනුව ජනතාවට බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණා රැසක් ඇත. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සිය වේදිකාවේදී තමා අතින් සිදුවූ වැරද්දකට සමාව ගැනීම බොහෝ දෙනා අතර කථාබහට ලක්විය. සිතා නොබලා කථා කිරීම හේතුවෙන් ඔහුට සමාජයේ බොහෝ චෝදනා එල්ලවිය. නමුත් තමාගේ කථාව සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ගැනීම අගය කළ යුතුය. ඉදිරියට හෝ එවැනි වැරදිවලින් වැළකීම ඔහුගේ ඡන්ද ප්‍රතිශතය රැකගැනීමට හේතුවක් වනු ඇත. නමුත් ඔහු එසේ සමාව ගනිමින් ප්‍රතිවාදීන්ගෙන් දේශපාලන පළිගැනීම් නොකරන බව කියමින් ගොඩනගාගන්නා ප්‍රතිරූපය එම වේදිකාවේම තවත් අයකු විසින් බිඳීම හේතුවෙන් තවදුරටත් සිංහල බෞද්ධ ඡන්ද මෙන්ම අති බහුතර මධ්‍යස්ථ ඡන්ද ද ඔහුගෙන් ඈත්වීම වැළැක්විය නොහැක. විශේෂයෙන්ම දඹර අමිල හිමිවැනි රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් ගෝඨාභය මැදමුලන පිළිකන්නේ කොක්කක එල්ලන බව ප්‍රසිද්ධ වේදිකාවේ කියා තිබිණි. එසේම තමුසේ , ඕයි වැනි වචන භාවිත කරමින් රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ කලාව ප්‍රගුණ කළවුන් එවැනි වේදිකාවල පවත්වන කථා ජනප්‍රසාදයට ලක් නොවනු ඇත. පසුගියදා එවැනිම කථාවක් කළ හේෂා විතානගේට එජාප නායක රනිල් වික්‍රමසිංහ පවා අමනාපය පළ කර තිබිණි. ඒ අනුව සජිත් ප්‍රේමදාස ගොඩනගා ගැනීමට උත්සාහ දරන ප්‍රතිරූපය ඔහුගේම ඇතැම් තේජස් කථාවලින් හා ඔහුගේ අනුගාමිකයන්ගේ කථාවලින් බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩිය.

නමුත් මේවනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ වේදිකාවේ කිසිවකුට මඩ ප්‍රහාර එල්ල කරනු දැකිය නොහැකිය. ඔහු කියන්නේ තමා කළ දේවල්ය. කිරීමට බලාපොරොත්තුවන දේවල්ය. එබැවින් කරන දේ කියන කියන දේ කරන නායකයකු ජනතාවගේ සිත්තුළ ජීවමාන වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ හේතුවෙන්ම මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන ඡන්ද විමසීම්වල හා බොහෝ සමීක්ෂණවල ප්‍රතිඵල වලින් ගෝඨාභය සිටින්නේ ගවුගණනක් ඉදිරියෙනි. සියලු ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ඔහුගේ ජයග්‍රහණයයි. ඒවා සර්ව සාධාරණ නොවේ හෝ නියම ජනමතය නොවේ යන්නට ඇතැමුන් තර්ක ගෙනෙන්න හැකියාව ඇත. නමුත් සැබෑ ජනමතය හා දැනට විවිධ මාධ්‍ය ඔස්සේ පෙන්නුම් කරන ජනමතයට සැබෑ අර්ථ කථනය ඇල්පිටියෙන් ලැබී ඇතැයි සිතිය හැකිය. බොහෝ විට ප්‍රාදේශීය සභා මැතිවරණයක ඡන්දය ප්‍රකාශ කරනුයේ 50%ක් 60% ක් අතර ප්‍රතිශතයක් වුවද මෙවර එය 75%ක් දක්වා ඉහළ නැග තිබිණි. ඒ ජනපතිවරණ උණුසුම නිසාම විය හැක්කකි. එබැවින් ජනතාවට සිය මතය පෙන්වීමට අවස්ථාව උදාවනු තුරු ඇත්තේ නොඉවසිල්ලක් බව මනාව පැහැදිලිය. මේ අනුව ඉදිරි දින කිහිපය තවදුරටත් තීරණාත්මක වනු ඇත. එකම බොරුව ඉස්මතු කරමින් ගෙනයන ඡන්ද ව්‍යාපාරවලට වැඩි ආයුෂ නැතිවනු ඇත. බුද්ධිමත් ජනතාව ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇත. එමෙන්ම ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය පිළිබඳ ජනතා අවධානය වැඩිවනු ඇත.

එළැඹෙන දින කිහිපයේදී ජනපති අපේක්ෂකවරුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වනු ඇත. එයින්ද ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ දළ අවබෝධයක් ජනතාවට ලබාගත හැක. බොහෝ දෙනා නැතත් බුද්ධිමත් ජනතා ආකර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශන මත තිරණය වනු ඇතැයි සිතිය හැකිය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය තම ජනපතිවරණ මතය ඉදිරි සතියේදී කියාපානු ඇත. එමගින් පිළිබිඹු වනු ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා එකඟවන ගිවිසුම් අනුව ක්‍රියාකරන නායකයා කවුද යන්නයි. දෙමළ සන්ධානය මේ මොහොතේ මස් රාත්තලම වුවද ලබාගැනීමට සූදානමින් සිටී. ඒ හේතුවෙන්ම ඔවුන් සිය කැමැත්ත මෙතෙක් පළ කර නැත. ඒ අනුව ඔවුන් රටේ ස්වෛරී භාවය ඒකීය භාවය පසෙක දමා සිය ඉල්ලීම් වෙනුවෙන් දැඩි කොන්දේසි පනවනු ඇත. එයට එකඟ වන නායකයාට දෙමළ සන්ධානයේ ඉල්ලීම් ඉවත දැමීමට නොහැකිවනු ඇත. එය රටේ ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණයකි.

තවත් දේශපාලනික වශයෙන් තීරණාත්මක දින කිහිපයක් එළැඹෙනු ඇත. බුද්ධිමත් ජනතාවට සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිතා බැලිය යුතු විමසිය යුතු කරුණු කාරණා ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත ඒ සියල්ල මධ්‍යයේ සත්‍ය අසත්‍ය සොයා කිරා මැන බැලීමටද සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *