ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයේ (63rd General Assembly) නිල සමාරම්භක උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ කොළඹදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ආසියා-පැසිෆික් විකාශන සංගමය හා අනුබද්ධ ලොව රටවල් 66ක් නියෝජනය කරමින් ප්රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය ආයතන 225ක ඉහළ පෙළේ නියෝජිතයෝ විශාල පිරිසක් මෙවර කොළඹ සමුළුව සඳහා එක්ව සිටිති.
කලාපීය මාධ්‍ය ක්ෂේත්රයේ ශීඝ්‍රයෙන් සිදුවන තාක්ෂණික දියුණුව, ක්‍රීඩා විකාශන සහ නවීන මාධ්‍ය අන්තර්ගතයන් (Media content) නිර්මාණය කිරීම මෙන්ම, මාධ්‍ය ක්ෂේත්රය සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය සහ සයිබර් ආරක්ෂාව (Cyber security) වැනි වත්මන් ගෝලීය අභියෝග රැසක් පිළිබඳව මෙම සමුළුවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ක්ෂේත්රයේ විශේෂඥයින්ගේ සහ තාක්ෂණික කමිටුවල මූලික සැසිවාර කිහිපයක්ම පසුගිය ඔක්තෝබර් 30 සහ 31 යන දිනයන්හිදීද පවත්වන ලදී.
ජනපතිට විශේෂ සමරු තිළිණයක්
මෙම සමාරම්භක උත්සවයට සහභාගී වීම සනිටුහන් කරමින් ආසියා-පැසිෆික් විකාශන සංගමයේ බලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම දේශීය හා විදේශීය මාධ්‍ය ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

