ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් – 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 2,325 දෙනෙකු ඒ අතරට අයත්ය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනට ලක් වෙමින් සිටි පුද්ගලයින් 52ක් සිට තිබේ.

ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණි.

එම සංඛ්‍යාව 573කි.

ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 51කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530ක්, මහනුවර 257ක්, ත්‍රිකුණාමලය 151ක්, රත්නපුර 129ක්, කළුතර 128ක් ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල, අවිස්සාවේල්ල, ගල්කිස්ස,නවගමුව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් ද වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම ගණන 530කි.

එම දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණේ කැලණිය, වත්තල, බියගම, දොම්පේ යන ප්‍රදේශවලිනි.

ඉන්පසු වැඩිම ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 257කි.

මැණික්හින්න, තෙල්දෙණිය, වත්තේගම සහ මහනුවර නගර සීමාවෙන් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

ක්‍රමානුකූලව පසුගිය දින 05 ක කාලය තුළ මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය 22 වන දින සිට ආසාදිතයින් වාර්තාවීම 3,000 සේ සීමාවේ සිට පහත බැස තිබූ අතර ඊයේ දිනයේ එය 2500 යේ සීමාව දක්වා ද පහත බැස තිබේ.

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 172,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව 172, 277කි.

මේ වනවිට රෝහල්වලින් පිටවගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 142,378කි.

කෙසේවෙතත් තවදුරටත් රෝගීන් 28,601 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,289ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 29 ක් ඊයේ දිනයේ තහවුරු කිරීමත් සමගය.

මේ අතර අද දිනයේ සිට ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එන්නත්කරණ  වැඩසටහන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යා අංශය නිර්දේශ කරන ප්‍රදේශවල ජනතාවට මෙහිදී එන්නත් ලබාදීම සිදු කරන බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *