වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය පුවත් සමාජ ගත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බව රජය පවසනවා.
රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැළෑවල පිහිටි ගස් කපා හෙළන බවට වාර්තා කරමින් සංසරණය වන පුවත් මුලුමනින්ම අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුලත් බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන්. රජය පවසා සිටින්නේ පරිසර විනාශය ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍යයේ සහ රූපවාහිනි, ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේද පසුගිය කාලයේ ප්‍රචාරය වී ඇති බවයි.
ඒ අනුව ජනතාව නොමග යවනු පිණිස සිතාමතා අසත්‍ය ප්රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි රජය තීරණය කර තිබේ.