අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 6.5ක් දක්වා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

අගෝස්තු 29 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

නව යෝජනාද ඇතුළත් කරමින් සංවර්ධන සැලැස්ම යාවත්කාලීන කිරීමට නියමිත අතර, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම සැලැස්ම සැප්තැම්බර් 8 වැනිදා අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසත්, සැප්තැම්බර් 15 වැනිදා වන විට සවිස්තරාත්මක සැලැස්ම අවසන් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

පූජා නගරයට විදුලි බස් සේවයක්

පූජා නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ එම ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.

පරිසරයට අහිතකර ඩීසල් වාහන පූජා නගරය තුළ සීමා කර, විදුලි බස් රථ යොදා ගනිමින් සංවිධානාත්මක වටරවුම් ප්‍රවාහන සේවයක් හඳුන්වා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙම බස් සේවය අනුරාධපුර මහ නගර සභාව යටතේ දෛනිකව ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, අටමස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම එහි අරමුණයි.

බැතිමතුන්ට පයින් ගමන් කිරීම දිරිමත් කිරීම සඳහා වෙනම පාදික මංතීරු සහ පාපැදි මංතීරු ඉදිකිරීම මෙන්ම දුම්රියෙන් සහ බස් රථවලින් පැමිණෙන වන්දනාකරුවන් සඳහා සිසිල් පරිසරයක විවේක ගැනීමේ ස්ථාන ඇති කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පූජා නගරයේ පුරාවිද්‍යා ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලකා “ජීවමාන ඓතිහාසික ස්ථාන” ලෙස සැලකිය යුතු බවයි. එම ස්ථාන තවදුරටත් ජනතාව විසින් වන්දනාමාන කරන බැවින්, වන්දනාකරුවන් සඳහා පහසුකම් සැලසීමේදී මෙම කරුණ සැලකිල්ලට ගත යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

පූජා නගර සීමාව වර්ග කිලෝමීටර් 38ක් දක්වා පුළුල් කිරීමට සැලසුම්

දැනට වර්ග කිලෝමීටර් 28ක් වන පූජා නගර සීමාව වර්ග කිලෝමීටර් 38ක් දක්වා පුළුල් කිරීමට යෝජනා කර තිබේ.

පුරාවිද්‍යා කැණීම් හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද නොවන පරිදි ව්‍යාපෘතියේ විවිධ අංග සඳහා ප්‍රමුඛතා ලබාදී ක්‍රමානුකූල වැඩසටහනක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර අදාළ සියලු ආයතන සමඟ සාකච්ඡා කර, එක් එක් ව්‍යාපෘතිය සඳහා වෙන වෙනම මූලික අනුමැතිය ලබාගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර, අභ්‍යන්තර නගර ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

එහිදී සාධාරණ වන්දි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, ජනතාව සමඟ සෘජුව සාකච්ඡා කර ඉඩම්, නිවාස හෝ මූල්‍ය වන්දි ලබාදීම ඇතුළු විකල්ප පිළිබඳව සලකා බලා තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

අදාළ සාකච්ඡාවට අටමස්ථානය නියෝජනය කරන මහා සංඝරත්නය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *