අධික ශබ්දයට තිත: පොලිසියෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට නව උපදෙස්

ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ අනෙකුත් ශබ්ද උපකරණ භාවිතයේදී නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.

පොලිසිය අනතුරු අඟවා ඇත්තේ, පොලිස් නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් නොතකා අධික ශබ්දය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් අදාළ ශබ්ද උපකරණ අත්අඩංගුවට ගත හැකි බවයි.

අසල්වැසි ජනතාවට බාධාවක් නොවන ආකාරයෙන් සහ මහජනතාවගේ සාමකාමී ජීවිතයට බාධා නොවන පරිදි ශබ්ද උපකරණ භාවිත කළ යුතු බව පොලිසිය අවධාරණය කර ඇත.

විශේෂයෙන් ළදරුවන්, පාසල් සිසුන්, වැඩිහිටියන් සහ රෝගීන් කෙරෙහි අධික ශබ්ද දූෂණය සෞඛ්‍ය හා මානසික බලපෑම් ඇති කළ හැකි බරපතළ ගැටලුවක් බවද පොලිසිය පෙන්වා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 38/2005 නඩු තීන්දුවට අදාළ නියෝග අනුව, මහජනතාවට කරදරයක් වන ආකාරයෙන් ඇම්ප්ලිෆයර් හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය යටතේ මහජන කරදරයක් ලෙස සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පෙරවරු 6.00 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර නොමැත. කෙසේ වෙතත්, විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා නීතියට අනුකූලව අවසර ලබාගත හැකිය.

පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවලදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි උපරිම වේලාවන් මෙසේ වේ:

  • සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා: රාත්‍රී 10.00 දක්වා
  • සිකුරාදා සහ සෙනසුරාදා: අලුයම 1.00 දක්වා
  • ඉරිදා: රාත්‍රී 12.30 දක්වා

කෙසේ වෙතත්, මෙම වේලාවන් මගින් අධික ශබ්දයක් නිකුත් කිරීමට ස්වයංක්‍රීය අයිතියක් හිමි නොවන බව පොලිසිය අවධාරණය කරයි. අවසර ලබාගෙන තිබුණද, ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා කළ යුතු අතර අවට පදිංචිකරුවන්ට කරදරයක් නොවන පරිදි පවත්වාගෙන යා යුතුය.

අවසර ලබාදෙන අවස්ථාවලදී එම කොන්දේසි පිළිපදිනවාද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමටද නියමිතය.

පැමිණිල්ලක් ලැබී පරීක්ෂා කිරීමෙන් පසු අදාළ ශබ්දය මහජන කරදරයක් බව නිලධාරීන් තීරණය කළහොත්, එය වහාම නතර කරන ලෙස වගකිවයුත්තන්ට නියෝග කරනු ඇත.

එම නියෝග නොතකා අධික ශබ්දය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, ශබ්ද උපකරණ අත්අඩංගුවට ගෙන වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය අනතුරු අඟවා තිබේ.

නීති විරෝධී හෝ අධික ශබ්ද පිළිබඳ පැමිණිලි ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 සහ 119 හදිසි දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *