මහින්ද

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75වන ජන්ම දිනය අද

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වැනි උපන් දිනය අදට (18) යෙදී තිබේ.

වයස අවුරුදු 24දී ලාබාලම මන්ත්‍රීවරයා ලෙස 1970දී පර්ලිමේන්තුවට තේරීපත්වූ රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන් මග සුන්දර එකක් නොවී ය.

1945 වසරේ නොවැම්බර් 18 වනදා හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ උපත ලද මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද පසුව කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා තිබේ.

1967 වසරේදී ඔහුගේ පියාවූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව, මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් විය.

ඒ අනුව වයස අවුරුදු 24 ක් වනවිට, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද 2002 වසරේ මාර්තු මාසයේ දී විපක්ෂ නායකවරයා ලෙසද ඔහු  කටයුතු කල අතර 2004 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.

2005 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර බහුතර ජනතාවගේ ඡන්දයෙන් එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ජනාධිපතිවරයා මෙන්ම මෙරට සේනාධිනායකයා ලෙසද වසර 30ක් පැවති කුරිරු යුද්ධය 2009 වසරේදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කරමින් අවසන් කර, රට එක්සේසත් කිරීමට එතුමා ලබාදුන් නායකත්වය අති මහත් ය.

යුද්ධය ජය ගනිමින් රටට සාමය උදාකරදීමේ අසීරු ඉලක්කය ජයගත් මහින්ද රාජපක්ෂ මහතා මෙරට නව සංවර්ධන මාවතක් වෙත රැගෙන යනු ලැබීය.

2015 වසරේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු විපක්ෂයේ කාර්යය භාරය ඉටුකරමින් 2019 ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා නායකත්වයද ලබා දුන්නේ ය.

ඉන් අනතුරුව 03 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පත්කෙරුණු අතර අද දක්වාම ඔහුගේ සේවය ජනතාව වෙනුවෙන් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින්නේ සිය දේශපාලන දිවියේ වසර 50 ක කඩයිමද පසුකරමිනි.

රාජපක්ෂ මහතා අද 75 වැනි උපන් දිනය සමරන්නේ තම ප්‍රායෝගික දේශපාලන ජීවිතයේ අභියෝග රැසක් ජයගත් අභීත දේශපාලනඥයෙකු ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *