හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සම්බන්ධයෙන් මතුව ඇති නවතම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ශක්තිමත්ව පවතින බවත්, අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ෆේස්බුක් සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ්-19 වසංගතය සහ මෙරට ආර්ථික අර්බුදය ඇතුළු මීට පෙර ඇති වූ අභියෝග රැසකටද ඇඟලුම් කර්මාන්තය සාර්ථකව මුහුණ දී ඇති බවයි.
“සන්සුන්ව සිටින්න, ඉදිරියට යන්න” යනුවෙන් සඳහන් කළ ඔහු, ඇඟලුම් ක්ෂේත්රය “සෑම විටම ශක්තිමත්” බවත්, මෑත කාලයේ ගෝලීය අභියෝග හැරුණු විට එය විශාල අභ්‍යන්තර ගැටලුවලට මුහුණ දී නොමැති බවත් පැවසීය.
හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී, හෙල ක්ලෝතින් සමාගම සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගම අඛණ්ඩ ද්‍රවශීලතා ගැටලු හේතුවෙන් අධිකරණ නියෝගයක් යටතේ සමාගම් ඈවර කරන ලෙස ඉල්ලා වාණිජ මහාධිකරණය හමුවේ අයදුම්පත් ගොනු කර ඇති බවට වාර්තා පළවීමත් සමඟ මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ද සේවකයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් කියා සිටියේ හෙල ක්ලෝතින් (පෞද්ගලික) සමාගම සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් (පෞද්ගලික) සමාගම යටතේ සේවය කළ සේවකයන්ට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවයි.
ඊට හේතුව අදාළ ඈවර කිරීමේ අයදුම්පත් ගොනු කිරීමට පෙර සිදු කළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් යටතේ එම සේවකයන් සියලුදෙනා එමරල්ඩ් ක්ලෝතින් (පෞද්ගලික) සමාගම වෙත මාරු කර තිබීමයි.
BOI අනුව, සේවකයන් 3,674 දෙනෙකු 2026 මැයි 1 සහ ජුනි 1 යන දින දෙකේදී අදියර දෙකකින් එමරල්ඩ් ක්ලෝතින් වෙත අන්තර්ග්‍රහණය කර තිබේ. ඒ අතර විධායක නිලධාරීන් 251 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයන් 393 දෙනෙකු සහ කණ්ඩායම් සාමාජිකයන් 3,030 දෙනෙකු ඇතුළත් වේ.
මාරු කරන ලද සියලුම සේවකයන් අඛණ්ඩ සේවා කාලය සමඟින්, ඔවුන්ගේ පවතින සේවා කොන්දේසි යටතේ එමරල්ඩ් ක්ලෝතින් සමාගමේ තවදුරටත් සේවය කරන බව BOI සඳහන් කළේය.
BOI හි කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව හරහා මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සලසා එය අධීක්ෂණය කළ බවද ආයෝජන මණ්ඩලය පැවසීය. සේවකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සේවා කොන්දේසි අධීක්ෂණය කිරීම සඳහා එමරල්ඩ් ක්ලෝතින් සමාගම සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන බවද BOI වැඩිදුරටත් සඳහන් කළේය.


