ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්රය ශක්තිමත් කිරීමේ අරමුණින් නිල ජාතික ක්‍රීඩා හා උත්සව දින දර්ශනයක් හඳුන්වාදීමට සහ ගමනාන්ත කළමනාකරණ කාර්යාලයක් (DMO) පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අංශයක් ලෙස ක්‍රීඩා සංචාරක ක්ෂේත්රය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම යෝජනා පිළිබඳ අවධානය යොමු කළ බවයි.
ජාත්‍යන්තර ක්‍රීඩා තරග සහ උත්සව සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා අමාත්‍යාංශ දෙක එක්ව කටයුතු කිරීමටද එහිදී එකඟ වී තිබේ.
වසර පුරා පැවැත්වෙන ක්‍රීඩා සහ උත්සව ආවරණය වන පරිදි නිල දින දර්ශනයක් හඳුන්වාදීම, සියලුම රාජ්‍ය ආයතන හරහා විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අනුමත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ සියලු මෙහෙයුම් එක් වේදිකාවක් යටතට ගෙන ඒම සඳහා ගමනාන්ත කළමනාකරණ කාර්යාලයක් (DMO) පිහිටුවීම පිළිබඳවද සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබේ.
යෝජිත කාර්යාලය සඳහා අවශ්‍ය මූල්‍ය සහ ආයතනික සහාය ලබාදෙමින් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීමට නියමිත අතර, ක්‍රීඩා සංචාරක වැඩසටහන් සඳහා විවිධ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම එහි ප්‍රධාන අරමුණක් වේ.
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. අයි. එල්. නසීර්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති මහේෂ් ප්‍රියදර්ශන ඇතුළු අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


