අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්රතිශෝධන පෙත්සම විභාගය සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.
එහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අසනීප තත්ත්වයකින් පසු වන හෙයින් මෙම පෙත්සම විභාගයට සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පෙත්සම ලබන 19 වනදා නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන් ඉදිරියේ විභාගය ගැනීමට නියම කෙරුණි.
දැනට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීතිවිරෝධී ලෙස ගිනි අවි හඳුන්වාදුන් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
එම අධිකරණය මගින් ශානි අබේසේකර මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ගම්පහ මහාධිකරණයට ඉදිරිපත්කළ ප්රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ශානි අබේසේකර මහතාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් විසින් මෙම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත්කර තිබේ