LK reports news sinhala

හරියට ඡන්දය දාන හැටි මැකෝ කියයි

ජනපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේදී කතිරය හෝ 1,2,3 ලෙස මනාප ලකුණුකරන ලෙසත් කතිරය සමග අංක කලවම් කර ඡන්ද සලකුණු කිරීමෙන් වළකින් ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ කීවේය.

“අපේ රටේ 1948 තිබෙන සම්ප්‍රදායික ක්‍රමය කතිරය සලකුණු කිරීමයි. ඔබ කැමති නම් ඔබේ අපේක්ෂකයාට කතිරය හෝ අංක 1 ඡන්ද පත්‍රිකාවේ යොදන්න. මනාප දෙනවානම් 1,2,3 ලබාදෙන්න. සමහරු අහනවා හරි දැම්මොත් ගන්නවාද රවුම් කළොත් ගන්නවාද? කරුණාකරලා පහේ ශිෂ්‍යත්වයේ ඇති වැඩ කරන්න එපා. අපට ඉලක්කම් එපා අපි කතිරෙන් යනවා කියනවානම් එක කතිරයක් විතරක් සලකුණු කරන්න.“

එසේම දෘශ්‍යාබාධිත අයට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව සලසා ඇති බවත් ඔහු කියා සිටියේය.

“දෘශ්‍යාබාධිත කෙනෙක් නම් ග්‍රාම නිලධාරී ළඟට වෛද්‍ය වාර්තාවක් සමග ගොස් ඒ පිළිබඳ දැනුම්දී සහායකයකු සමග ඡන්දය භාවිත කිරීමට හැකියි.“

එසේම ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත, විශ්‍රාම හැඳුනුම්පත, පූජ්‍ය පූජක පක්ෂය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලක්ෂ ගණන් හැඳුනුම්පත් හිරවී ඇති බැවින් ඒ වෙනුවෙන් නිකුත් කළ සහතිකයක්ද ඡන්ද භාවිත කිරීමේදී වලංගුවන බව මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය. එසේම කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රය වලංගු නොවන බව ද මැතිවරණ කොමිසමේ සභාපති එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *