සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කර ඇති අතර මෙයට හේතුවී ඇත්තේ සිම්බාබ්වේ ක්‍රිකට් සඳහා අනිසි රාජ්‍ය මැදිහත්වීමේ කාරණා ඔප්පුවීමයි.

ඊයේ (18දා) පැවති පාලක මණ්ඩලයේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර අයිසිසී සභාපති ෂසංක් මනෝහර් දන්වා ඇත්තේ මෙම තහනම Article 2.4 (c) හා (d) අනුකූලව පැනවූ බවයි.

පසුගිය කාලයේ සිම්බාබ්වේ රාජ්‍යය වෙනුවෙන් අයිසීසීය ලබාදුන් මුදල් ගසාකෑම් වලට ලක්වූ බවත් ක්‍රීඩකයින්ගේ තේරීමේ සිට විවිධ තනතුරු ලබාදීම, තරගාවලී සංවිධානය, විදෙස් සංචාර නියෝජනය ආදී සියලු කාරණා දේශපාලනය මත රඳා පැවතීමත් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රඳවා තබාගැනීමට සිම්බාබ්වේ අසමත්වීම යන හේතුන් මත මෙම දඩුවම පනවන්නට සිදුවූ බවත් අයිසීසීය ප්‍රකාශ කරයි.

යළි පෙර පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාව නිසි මගට හරවාගන්නට හැකි බව ඔවුන් ඉදිරි කාලයේ ඔප්පු කළොත් පමණක් තහනම ඉවත් කළ හැකි බවත් අයිසීසීය සිම්බාබ්වේ ක්‍රිකට් වෙත දන්වා ඇත.

මෙම තහනමත් සමග අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නවතා ඇති අතර අයි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට හැකියාවක් නොලැබෙනු ඇත.

දීර්ඝ කාලීන දේශපාලන අර්බුදයක හා ආර්ථික ගැටලුවල ගිලී සිටින සිම්බාබ්වේ රාජ්‍යයේ බොහෝ අංශ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද ඉතා දුර්වල මට්ටමකට පසුගිය කාලයේ ඇද වැටී තිබූ අතර ඔවුනට 2019 ලෝක කුසලානය නියෝජනය කිරීමට පවා හැකිවූයේ නැත.

මීට වසර කිහිපයකට පෙර ලොව ප්‍රබල රටවල් ගණනාවකටම අභියෝගයක් වූ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සුවිශේෂී දක්ෂයන් රැසක් ක්‍රිකට් ලොවට දායාද කර තිබිණි. හෙන්රි ඔලොන්ගා, ඇන්ඩි ෆ්ලවර්, ග්‍රාන්ට් ෆ්ලවර්, හීත් ස්ට්‍රික්, ටටෙන්ඩා ටයිබු, මරේ ගුඩ්වින්, පෝල් ස්ට්‍රැන්ග්, බ්‍රෙන්ඩන් ටේලර් ඒ අතර ක්‍රිකට් ලොව නම රැන්දූ ක්‍රීඩකයෝ වෙති.

(Image – Pakistan Cricket)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *