සාෆි සම්බන්ධ පරීක්ෂණ විධිමත් කරන්නැයි උපදෙස්

මව්වරුන් වඳ භාවයට පත් කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ලවී ඇති වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දන්වා ඇතැයි පොලිස් ආරංචි පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පිරිසක් මෙන්ම එලෙස අගතියට පත් පිරිස් ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩ බලන පොලිස්පතිවරයා මෙම දැනුම්දීම කර ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරුණ සැත්කම්වලදී මව්වරුන් වඳභාවයට පත් කළැයි කියන සිද්ධියකට වෛද්‍ය සාෆි 1978 අංක 49 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉකුත් මැයි 27 අත්අඩංගුවට ගත් අතර පසුගිය 11 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

(උපුටා ගැනීම – ලංකාදීප/ Image – dailynews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *