කාති උසාවිය නිසා මුස්ලිම් දැරිය කබලෙන් ලිපට

දූෂණයට ලක්වූ මහනුවර ප්‍රදේශයේ දැරියක් කාති උසාවිය මගින් අදාළ දූෂකයාටම විවාහ කර දුන් බව ඇගේ පියා පසුගියදා අනාවරණය කළේය.

පියා විසින් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට ගත් උත්සාහයද කාති උසාවිය මගින් වැළැක්වීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් පසුගියදා සිය දියණිය කළ පහරදීමකට ප්‍රතිකාර ලබාගැනීමට මහනුවර රෝහල වෙත පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

16 හැවිරිදි ඇගේ දියණිය ගැබ්ගෙන සිටින බවත් ඇගේ ස්වාමියා ඇය හැරගොස් සිටින බවත් මේ හේතුවෙන් දියණිය දැඩි මානසික පීඩනයකින් සිටින බවත් අදාළ කාන්තාව ප්‍රකාශ කර ඇති අතර සිය දියණිය දූෂණය කළ තැනැත්තා එය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන ඇති බවද වාර්තා වේ. දැරියගේ පියා ඇතුළු පවුලේ පිරිස අකුරණ කාති උසාවියට ගොස් සාධාරණය ඉල්ලා සිටියද කාති උසාවියේ විනිසුරුවරයා අදාළ දැරිය දූෂණය කළ මුස්ලිම් ජාතික තරුණයාටම ඇය විවාහ කරදීමට කටයුතු කර ඇත. වෛද්‍යවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය දික්කසාද වීමට කැමැත්තෙන් පසුවුවද කාති උසාවිය ඊට අවසර නොදෙන බවයි.

මේ ආකාරයෙන් කටයුතු කිරීමට කාති උසාවියට කිසිදු බලයක් නැති බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත්ව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් කාන්තා සංවිධාන හා සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

(උපුටා ගැනීම – හිරු නිව්ස්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *