ස්විස් තානාපති කාර්යාල සේවිකාවට රට ගමන් බෑ

Share this Article

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(3) නියෝගයක් නිකුත් කර ඇත.

රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ නිලධාරිනියට දෙසැම්බර් 9වැනිදාට පෙර රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් කළේය.

රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ ඉකුත් 25 වැනිදා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික වීසා නිලධාරිනියක කිසියම් කණ්ඩායමක් විසින් සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් දැනට විදේශගතව සිටින රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම සම්බන්ධයෙන් තර්ජනාත්මකව කරුණු විමසා ලිංගික අඩන්තේට්ටම් කළ බවට එම තානාපති කාර්යාලයේ තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි.

මේ පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ කළ ද එම නිලධාරිනිය පිළිබඳව තොරතුරු හෙළි කිරීම අදාල තානාපති කාර්යාලයේ  නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් පසුව ඇයගේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවෙසේ ද කිසිවෙකු නොමැති බවට කරුණු අනාවරණය වූ බවත් ඇයගේ සැමියා බැංකු නිලධාරියකු වන අතර ඔහු රැකියාව කළ බැංකුවට ගොස් පරික්ෂා කිරීමේ දී ඔහු සේවයට වාර්තා කර නොමැති බවට කරුණු අනාවරණය වූ බව ද අධිකරණයට වාර්තා කෙරිණි. තානාපති කාර්යාලයේ නිලධාරියකු පැහැරගෙන යාම බරපතළ සිද්ධියක් බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා එහි සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

යම් හෙයකින් ඇය විදේශ ගත වුවහොත් සත්‍ය අනාවරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත්  එසේ වුවත් රටට විශාල කැළලක් සිදු වන බවත් පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙය පුද්ගල බද්ධ කරුණක් නොව සමස්ත රටටම බලපාන ප්‍රධාන කරුණකැයි ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.


Share this Article

1 Comment

Leave a Reply

Your email address will not be published.