ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දකුණු ආසියා ක්‍රීඩා උළෙල රනින් සරසති

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ රන් පදක්කම් 29ක් ලබා ශ්‍රී ලංකාව මේ වනවිට 3වැනි ස්ථානයේ පසුවෙයි. පිළිවෙළින් රන් පදක්කම් 89ක් හා 42ක් ලබාසිටින ඉන්දියාව හා නේපාලය පළමු හා දෙවැනි තැන්වල රැඳී සිටී.

මේ වනවිට මළල ක්‍රිඩා ඉසව්වල ඉන්දියාව අභිබවා යාමට ශ්‍රි ලංකාව සමත්ව තිබේ. අද (7) ශ්‍රි ලංකාව මළල ක්‍රිඩා ඉසව්වල රන් පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වු අතර මෙම ක්‍රිඩා උළෙලේ මළල ක්‍රිඩා ඉසව්වේ ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15කි. ඉන්දියාව මළල ක්‍රිඩා ඉසව්වල හිමිකරගනෙ ඇත්තේ රන්පදක්කම් 13ක් පමණි. ඒ අනුව වසර 28කට පසුව ශ්‍රි ලංකාව දකුණු ආසියානු ක්‍රිඩා උළෙලෙක මළල ක්‍රිඩා ඉසව්වලදී ඉන්දියාව අභිබවා යෑමට සමත්වීම විශේෂත්වයකි.

කාන්තා මැරතන් ඉසව්ව පැය 02යි මිනිත්තු 41යි තප්පර 24කින් නිමකළ හිරුණි විජේරත්න එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් අතර ඇය සහභාගී වු පළමු දකුණු අසියානු ක්‍රිඩා උළෙල ද මෙය වේ. එම රන් පදක්කමත් සමග හිරුණි වාර්තා අතරට එක්වූයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි.

මේ අතර කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට දිල්ෂි කුමාරසිංහ සමත් වූ අතර ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තාය. දිල්ෂි කුමාරසිංහ පසුගියදා පැවති කාන්තා මීටර 400 ඉසව්වේද රන් පදක්කම හිමිකර ගත් අතර ඒ අනුව ඇය මෙවර ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් හිමිකර ගෙන තිබේ.

පිරිමි මීටර 800 ඉසව්ව මිනිත්තු 1යි තත්පර 50යි දශම 5යි 2කින් නිමකළ ඉඳුනිල් හේරත් එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් අතර කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම නදීශා ලේකම්ගේ හිමිකර ගත් අතර එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තේ නදීකා ලක්මාලියි.

පිරිමි මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම මැතිව් අබේසිංහ හිමිකර ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින්ය. ඒ අනුව මැතිව් අබේසිංහ මෙවර ක්‍රීඩා උළෙලේදී මේ වනවිට රන් පදක්කම් 4ක් හිමිකරගෙන සිටියි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13වන දකුණු ආසියානු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 සහය දිවීමේ ඉසව්වේදී නව දකුණු ආසියානු තරගාවලි වාර්තාවක් සමඟින් රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පිරිමි මීටර 100 සහය දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශණ සහ චානුක සංදීප යන ක්‍රීඩකයින් සහභාගි වුණි. එම ඉසව්ව තත්පර 39යි දශම 1යි 4කින් නිමකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව දකුණු ආසියානු තරගාවලි වාර්තාවක්ද සමගින් රන් පදක්කම හිමිකර ගත්තේය. ඔවුන් බිඳ හෙළුවේ මීට පෙර 2004 වසරේදී ඉන්දියා කණ්ඩායම තබා තිබූ වාර්තාවයි.

මේ අතර කාන්තා මීටර 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.ඔවුන් එම ඉසව්ව නිමකළේ තත්පර 44යි දශම 8යි 9කිනි.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට නිලානි රත්නායක සමත් වූ අතර ඇය කාන්තා මීටර 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ මිනිත්තු 16යි තත්පර 55.18කින් එම ඉසව්ව නිම කරමිනි.

ඇය පසුගියදා පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ රන් පදක්කමද හිමිකර ගත්තාය.

ඒ අනුව මේ වනවිට රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 49ක් සහ ලෝකඩ පදක්කම් 74ක් සමගින් සමස්ත පදක්කම් 152ක් ලබාගෙන සිටින ශ්‍රි ලංකාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවෙයි.

16 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *