ශ්‍රී ලංකා භූමිය වැඩිවෙයි – වරාය නගරයෙන් අලුත් බිම්කඩක් එක්වෙයි

ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්වු කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක් හෙවත් වර්ග කිලෝමීටර් 02යි දශම 06 කොටසක් මෙරටට ලබාදීමේ නිල උත්සවය අද(7) පැවැත්විණි. එම විශේෂ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගර භුමියේ පැවැති අතර ඒ අනුව මෙරටට අලුතින් එක්වු බිම් කොටස නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට එක්කෙරිණි.

මේ වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නික්තු කෙරුණු අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ චීන ජනාධිපති ෂී ජිං පිංග් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය සඳහා මුල්ගල තබා තිබිණි. චීනයේ සී.එච්.ඊ.සී හෙවත් චයිනා හාබර් ඉංජිනේරින් කෝපරේෂන් සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකළ අතර එම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලයන 1.5ක ආයෝජනයක් සිදුකර ඇත.

කොළඹ වරාය සහ ගාලුමෝදර ක්‍රිඩාංගණය අතර මුහුදු කොටස වන හෙක්ටයාර 233ක ප්‍රදේශය ගොඩකිරීමට එමගින් සැලසුම් කර තිබු අතර පසුගිය රජය සමයේ මෙහි වැඩ නතර කෙරිණි. එහි පරිසර දත්ත වාර්තා යළි සකස් කර මුල් ගිවිසුමද සංශෝධනය විය. ඒ යටතේ ගොඩකිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269ක් දක්වා වැඩි කළ අතර චීන සමාගමට ලබා දී තිබු හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116 දක්වා භූමි ප්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට යහපාලන රජය ගිවිසුම් ගතවිය. ඉදිකිරීම් කටයුතු සිදුකළ හැකි මෙම හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 116ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62ක ශ්‍රි ලංකා රජයටත් ඉදිකිරීමේ කටයුතු සඳහා බදු දීමට අවස්ථාව හිමිවේ.

කෙසේවෙතත් කොළඹ වරාය නරගයේ දෙවන අදියර හෙට සිට ආරම්භ වන අතර ඒ යටතේ මහාමාර්ග, විදුලිය, ජලය සහ මළ අපවහන පද්ධති සකස් කිරීමද මෙම ඉදිකිරීම් සමාගම් විසින් සිදුකිරීමට නියමිතය. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරෙන මෙම භූමියේ ඉඩම් රජය විසින් හෙට සිට ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම චීන රජයට හිමිවන හෙක්ටයාර 116ක භූමිය ඔවුන්ටද, ප්‍රතිබදු දීමට අවස්ථාව හිමිවෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *