ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සබදතා වර්ධනයට ඉන්දියාව සූදානම්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ක්ෂේත්‍ර කිහිපයක ද්වීපාර්ශ්වික සබදතා වැඩිදියුණු කර ගැනීම පිළිඹදව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාවක්, සමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම යන කුරුණු පිළිඹදව සාකච්ඡාවට ලක්විය. ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රිය කලාප පිළිඹද දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන්ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.
රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සදහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සදහා උපකරණ මිලට ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් සපයන බවද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැනද සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published.