තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇති බවත්, එමඟින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජූලි 28 වන දින මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ සංචාරයක නිරත වෙමින්, ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
එහිදී අදහස් දක්වමින් තානාපති සමරසිංහ මහතා සඳහන් කළේ, එක්සත් ජනපදය මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා යහපත් ආකල්පයක් දරන බවත්, රටේ ආර්ථික සංවර්ධනයට සහාය වන ක්ෂේත්‍ර කිහිපයකින් ආධාර ලබා දී ඇති බවත්ය.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සහයෝගීතාව පවත්වාගෙන යාම සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන් වහන්සේ, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සේවය අගය කරමින්, එය සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයකින් ඔබ්බට ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවයක් බව පැවසීය.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර මීට පෙර නොවූ විරූ ශක්තිමත් සහ සුබවාදී සබඳතා පාලමක් ගොඩනැගී ඇති බවත්, එම සබඳතා වර්ධනය කිරීමේදී තානාපති සමරසිංහ මහතා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.


