හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් ඔහුගේ ආරක්ෂක නිලධාරියා පැවසුවේ, මියගිය පොලිස්පතිවරයා තම රාජකාරි ගිනිඅවිය සහ උණ්ඩ ලබාගෙන එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ බවයි.
කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවේ අඟහරුවාදා (28) සාක්ෂි ලබාදුන් සැරයන් (697) සුසන්ත මහතා සඳහන් කළේ, වසර 16කට වැඩි කාලයක් හිටපු පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළද, මීට පෙර කිසිදු අවස්ථාවක ඔහු තම රාජකාරි ගිනිඅවිය ඉල්ලා නොසිටි බවයි.
බස්නාහිර පළාත් (දකුණ) විමර්ශන ඒකකය මෙම පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවීය.
සැරයන් සුසන්ත මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධිය වූ දිනයේ හිටපු පොලිස්පතිවරයා මුලින්ම තම ගිනිඅවිය ඉල්ලා ගත් අතර, ඉන් අනතුරුව උණ්ඩද ඉල්ලා සිටි බවයි.
“ව්‍යායාමයට යන හැම අවස්ථාවකම සපත්තු පැළඳගෙන යනවා. ඒත් එදා සපත්තු දාගෙන හිටියේ නැහැ. ඒ වගේම ව්‍යායාමයට යන විට කිසිම දවසක වතුර බෝතලයක් ඉල්ලුවේ නැහැ. මම පිස්තෝලය සහ උණ්ඩ ලබාදුන්නාට පස්සේ වතුර බෝතලයක් ගේන්න කිව්වා. මම එළියට ගිය සැණින් වෙඩි හඬ ඇහුණා. මම ඉක්මනින් ඇතුළට දිව්වාම ඔහු බිම වැටී සිටිනවා දැක්කා. නිවසේ සිටි අනෙක් අයගේත් සහාය ඇතිව ඔහුව මුල්ලේරියාව රෝහලට රැගෙන ගියා. පසුව ඔහු මියගිය බව දැනගත්තා,” යැයි ඔහු පැවසීය.
මෙම සිද්ධියට අදාළ පිස්තෝලය සහ භාවිත කළ උණ්ඩ කොපු රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
මේ අතර, මුල්ලේරියාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (JMO) හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් (Open Verdict) ලබාදී තිබේ.


