විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ කිරීම සඳහා අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ජූලි 7 සිට 15 දක්වා පැවති සත්‍යග්‍රහයක් අතරතුර මෙම පුද්ගලයන් විසින් සිදුකළ බව කියන ප්‍රසිද්ධ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විමර්ශනයේ සොයාගැනීම් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා වෙත වාර්තා කර තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇත්තේ, බැලූ බැල්මට අදාළ ප්‍රකාශ මගින් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කටයුතු විවේචනයට ලක්කර ඇති බව පෙනී යන බවයි.
ඒ අනුව, මෙම පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ කිරීම සඳහා අභියාචනාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.


