LK reports news sinhala

රෝග සුව කරගන්න ගිහින් පරලොව යයි – අනුවණ වැඩ නොකරන්නැයි වෛද්‍යවරු කියති

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේදී අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමට ගිය දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම වැඩසටහන අතර තුර පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ ඊයේ (7)  සහ අද(8) සංවිධානය කර තිබු රෝගීන් සුව කිරීමේ මෙම වැඩසටහන සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී ඇති අතර එම වැඩසටහන අතර තුර රෝගී තත්ත්වය උත්සන්න වු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇතැයි රෝහල් ආරංචි පවසයි.  තවත් 18 දෙනෙකු පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ දීගොඩ කුමාර නමැත්තෙක් වන අතර තමා ඕනෑම රෝගියෙක් සුව කරන බවත් තමා නිසා මෙම මරණ සිදුනොවූ බවත් ඔහු කියයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ටද එම ස්ථානයේ සිටි පිරිසක් පහර දී කැමරා උපකරණවලට හානී සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙවැනි මිනිසුන් රවටන රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් මීට පෙරද රෝගීන්ට අසාධ්‍යවීම් ඇතිවී ඇති අතර අනුවණ පුද්ගලයින් මේවාට සහභාගීවීමට ගොස් අමාරුවේ වැටෙන බවද වෛද්‍යවරු පෙන්වා දෙති. එබැවින් කිසිදු ආකාරයකින් මෙවැනි ප්‍රෝඩාකාරීන්ට හසුනොවී රෝගී තත්ත්වයක් ඇත්නම් පිළිගත් වෛද්‍යවරයකු හමුවන ලෙස ඔවුහු දන්වා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *