ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය සමූහයේ මූල්‍ය සහාය යටතේ රුපියල් මිලියන 35කට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කර තිබේ.
නවීකරණය කළ දුම්රිය ස්ථානය ඊයේ (03) “Dream Destination” ජාතික වැඩසටහන යටතේ ජනතා භාවිතය සඳහා විවෘත කර භාර දෙන ලදී.
ශ්‍රී ලංකාව පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කර පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට පෞද්ගලික අංශයේ මූල්‍ය සහ ව්‍යවසායකත්ව සහායද හිමිව තිබේ.
පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ එහි පැවති දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ඇති අතර, මගීන් සඳහා වූ පහසුකම් රැසක්ද වැඩිදියුණු කර තිබේ.
ඒ යටතේ මගී රැඳී සිටීමේ ප්‍රදේශ, දුම්රිය ගමන් මලු ගබඩා කිරීමේ පහසුකම්, පූජක පක්ෂය සඳහා පහසුකම් සහ පිරිමි හා කාන්තා මගීන් සඳහා වූ සනීපාරක්ෂක ඇතුළු අනෙකුත් පහසුකම් වැඩිදියුණු කර ඇත.
රජයේ “Dream Destination” වැඩසටහන යටතේ දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ අරමුණ වී ඇත්තේ මගී පහසුකම් වැඩිදියුණු කරමින් වඩාත් සුවපහසු සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් ජනතාවට ලබාදීමයි.


