මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික බලපෑම්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2026 අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ වෙන් කර ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජය රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) අනුමත කර තිබේ.
පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා රජය හඳුන්වා දී ඇති සහන පැකේජය යටතේ සිදුකර ඇති වෙන්කිරීම් සහ එම මුදල් භාවිත කිරීමට නියමිත ආකාරය පිළිබඳවද කාරක සභාව සමාලෝචනය කර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
රුපියල් බිලියන 71.7ක සහන පැකේජය යටතේ විශාලතම මුදල වන රුපියල් බිලියන 52.8ක් ඛනිජ තෙල් අංශය සඳහා වෙන් කර ඇති බව එහිදී අනාවරණය වී ඇත.
ඉහළ ගිය ඉන්ධන ගොඩබෑමේ පිරිවැය හේතුවෙන් ඇතිවිය හැකි පාඩු පියවා ගැනීම සහ රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම මුදල වෙන් කර ඇති බව නිලධාරීන් කාරක සභාවට දැනුම් දී තිබේ.
රුපියල් බිලියන 71.7ක මෙම මුදල කොටස් දෙකකින් සමන්විත බවද නිලධාරීන් පැහැදිලි කර ඇත.
ඒ අනුව, පළමු කොටස වන රුපියල් බිලියන 52.8ක් 2026 මැයි සහ ජුනි මාසවල ලබාදුන් ඉන්ධන සහනාධාර ඇතුළු සහන ක්‍රියාමාර්ග සඳහා අදාළ ගෙවීම් පියවීමට යළි වෙන් කර තිබේ.
දෙවන කොටස වන රුපියල් බිලියන 18.9ක් වාර්ෂික අයවැය හදිසි අවශ්‍යතා සංචිතය යළි පිරවීම සඳහා වෙන් කර ඇත. 2026 අප්‍රේල් මාසයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් ඉන්ධන සැපයුම්කරුවන් සඳහා ලබාදුන් ඉන්ධන සහනාධාරය, කුඩා තේ වතු හිමියන් සඳහා ලබාදුන් පොහොර සහනාධාරය සහ ධීවර ක්ෂේත්‍රයට ලබාදුන් සහාය සඳහා මෙම සංචිතය මීට පෙර භාවිත කර තිබුණි.
මෙම රුපියල් බිලියන 71.7ක සමස්ත මුදලම ඩිට්වා සුළි කුණාටුවෙන් පසු සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා වෙන් කළ 2026 අංක 01 දරන රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවේ භාවිත නොකළ ශේෂයෙන් ලබාගන්නා බවද අනාවරණය වී තිබේ.
2026 ජුනි 30 වන විට එම රුපියල් බිලියන 500ක වෙන්කිරීමෙන් භාවිත කර තිබුණේ රුපියල් බිලියන 243.9ක් පමණක් බව සඳහන් විය.
ඒ අනුව, ඉන්ධන සහනාධාරය ඉන්ධන සමාගම් සඳහා ලබාදෙන සහනාධාරයක් ලෙස නොව, පාරිභෝගිකයන්ට සහන සැලසීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය යුතු බවත්, එය පවතින තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් හඳුන්වා දී ඇති තාවකාලික මැදිහත්වීමක් බවත් කාරක සභාව පෙන්වා දී ඇත.
2026 අප්‍රේල් මාසය සඳහා පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයුම්කරුවන්ට ආසන්න වශයෙන් රුපියල් මිලියන 20,507ක සහනාධාර ලබාදී ඇති බවද කාරක සභාවට දැනුම් දී තිබේ.
එම මුදලින් රුපියල් මිලියන 15,000ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, රුපියල් මිලියන 2,340ක් ලංකා IOC සමාගමටත්, රුපියල් මිලියන 1,501ක් Sinopec සමාගමටත්, රුපියල් මිලියන 1,666ක් RM Parks සමාගමටත් වෙන් කර තිබේ.
රුපියල් බිලියන 71.7ක සහන පැකේජය යටතේ සිදුකර ඇති සමස්ත මුදල් වෙන්කිරීම් පිළිබඳවද කාරක සභාව සාකච්ඡා කර ඇත.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 15ක්, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.2ක්, යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක්, කුඩා පරිමාණ වතු වගාකරුවන් සඳහා රුපියල් බිලියන 2.2ක් සහ ධීවර ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 1.2ක් වෙන් කර තිබේ.


