මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද(13) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය. ඒ අනුව ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රාහී අවසන් ජන රැලි අද (13දා) පැවැත්වේ.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන අවසන් ජන රැලිය අද සවස හෝමාගමදී පැවැත්වීමට නියමිත අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාගේ අවසන් ජන රැලිය අද රාත්‍රි මැද කොළඹ මරදාන ටවර් රඟහල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය. මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය අවසන් ජන රැලිය මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවරණ ව්‍යාපාරයේ අවසන් ජන රැලියට සහභාගිවීමට පෙර තිස්සමහාරාම, මාතර, ගාල්ල සහ කළුතරදී පැවැත්වෙන ජන හමුවලටද සහභාගි වන අතර සජිත් ප්‍රේමදාස මහතා මරදානේ අවසන් ජන රැලියට පෙර මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල සහ කළුතර පැවැත්වෙන ජනහමුද ඇමැතීමට නියමිතය.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් මෙන්ම දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී දැනුම්වත් කර ඇති බවයි.

මෙම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීමත් සමඟ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට ද සීමා පැනවෙන අතර මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසන් සභාව කියයි. මේ අතර විද්‍යුත් මුද්‍රිත හා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණ දැන්වීම් පළ කිරීමද අද (13) රාත්‍රී 12 න් පසු නතර කළ යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *