මඩකලපුව කැම්පස් එකට මුදල් කොහෙන්ද?

 

මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ විය.

2016 ජනවාරි මස දී බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආරම්භ කළ ගිණුමේ බලයලත් නිලධාරින් ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා යන නම් සඳහන් ව ඇති බව සාක්ෂිකාරිය පැවසුවාය.

කොල්ලුපිටියේ අදාළ රාජ්‍ය බැංකු ශාඛාවේ Batticaloa Campus නමින් ජංගම ගිණුම් 2ක් සහ එක් සි(Z)යා ගිණුමක් ඇති බවත් මෙම ගිණුමට අවස්ථා 7කදී රුපියල් මිලියන 3640කට වැඩි මුදලක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවත් එම අවස්ථා 7 දීම මුදල් බැර කර ඇත්තේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි නම් තැනැත්තෙකු විසින් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තවද උක්ත ගිණුම ආරම්භ කිරීමේ අරමුණ වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම බවත් ඒ පිළිබඳව තමන් මාධ්‍ය ඔස්සේ දැනුවත් වීම නිසාවෙන් එතනින් එහාට සොයාබැලීමක් සිදු නොකල බවත් මෙම ගිණුමෙන් අවස්ථා රැසකදී චෙක්පත් මගින් රුපියල් මිලියනයකට වඩා වැඩි මුදල් ලබාගැනීම් රැසක් සිදුකර ඇති බවත් හිටපු කළමනාකාරිණිය පැවසුවාය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා, ඇයගෙන් විමසා සිටියේ රුපියල් මිලියනයකට වැඩි මුදල් ගැනීමක් එකවර සිදුවෙනවා නම් මහබැංකුව දැනුවත් කළා ද.? යනුවෙනි

මේ පිළිබඳව මහ බැංකුවට වාර්තා කර නොමැති බවත්,ඇය ඒ පිළිබඳ ප්‍රධාන ශාඛාවේ අනුකූලතා අංශය දැනුවත් කළ නමුත් ප්‍රධාන ශාඛාවෙන් මහබැංකුව දැනුවත් කර නොමැති බවත් මහ බැංකුවට මේ පිළිබඳ දැනුම් දී ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව යැයි ද සාක්ෂිකාරිය පිළිතුරු දුන්නාය.

තවද හිස්බුල්ල මහතා ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් නමින් 1993 අගෝස්තු 18 ජංගම ගිණුමක් විවෘත කරලා ඇති බවත්,උක්ත ගිණුමට අවස්ථා 5 කදී විදේශ ප්‍රේෂණ ලෙස රුපියල් මිලියන 313 කට අධික මුදලක් ලැබී තිබෙන බව සාක්ෂිකාරිය පවසා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *