සුදුසු නඩු සඳහා සිරදඬුවම් වෙනුවට නිවාසගත රැඳවුම ලබාදීමට හැකි වන පරිදි නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමේ පියවරක් ලෙස මෙම නීති හඳුන්වාදීමට නියමිතය.
අදාළ අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව, සුදුසු අවස්ථාවලදී සුදුසුකම් ලබන සැකකරුවන් සහ වරදකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීම හෝ බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාසගත රැඳවුම යටතේ තැබීමට හැකි වන පරිදි නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා මීට පෙර ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් පනත් කෙටුම්පතක්ද සකස් කර තිබිණි.
2025 ජූනි 23 වැනිදා අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතියෙන් අනතුරුව එම පනත් කෙටුම්පත සමාලෝචනය කර ඇති අතර, පසුව ඊට ඇතුළත් කළ යුතු අතිරේක විධිවිධාන කිහිපයක් හඳුනාගෙන ඇති බව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වේ.
ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති අතර, හඳුනාගත් අතිරේක විධිවිධානද ඇතුළත් කර පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමට නියමිතය.


