පොල් අපනයනයේ ලෝක බලවතෙකු වීමට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත වැඩපිළිවෙළක්: “Ceylon King Coconut Village” ඇරඹේ

ශ්‍රී ලංකාව පොල් අපනයනයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන පසුගිය 03 වැනිදා ආරම්භ කර තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් කුරුණෑගල මහයියාව වතුයායේදී මෙම වැඩසටහනේ සමාරම්භය සිදු කෙරිණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ වසර තුනක් තුළ දිවයින පුරා පොල් ගම්මාන 250ක් ස්ථාපිත කිරීමයි. ඒ අනුව 2026 වසරේ ගම්මාන 75ක්, 2027 වසරේ ගම්මාන 80ක් සහ 2028 වසරේ ගම්මාන 95ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

මෙහිදී නව පොල් පැළ 212,500ක් රෝපණය කිරීම, දැනට පවතින පොල් ගස් 221,500ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ සෑම ගම්මානයකම කුඩා පරිමාණ සැකසුම් මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම සිදු කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළ හරහා ගොවීන් 21,250කට පමණ ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කරන අතර, ගොවීන්, එකතුකරන්නන් සහ අපනයනකරුවන් සම්බන්ධ කරන ක්‍රමවත් දත්ත හා වෙළෙඳ පද්ධතියක්ද ස්ථාපිත කිරීමට නියමිතය.

2030 වන විට වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම සහ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි කිරීම මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන ඉලක්ක වේ.

වගාවට පමණක් සීමා නොවන මෙම වැඩසටහන හරහා එකතු කිරීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය යන ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා නිර්මාණය කරමින් ග්‍රාමීය පවුල්වල ආදායම් ඉහළ නැංවීමටද අපේක්ෂා කෙරේ. ඒ අනුව ග්‍රාමීය ප්‍රජාවන් ජාතික ආර්ථික වර්ධනයේ සෘජු හවුල්කරුවන් බවට පත් කිරීමද මෙහි අරමුණකි.

2026 වසර සඳහා පොල් ගම්මාන 75ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එක් ගම්මානයක පොල් ගස් 500ත් 1,000ත් අතර ප්‍රමාණයක් තිබීමට නියමිතය.

මේ සඳහා රුපියල් මිලියන 405ක මුදලක් වෙන් කර තිබේ. දැනට පවතින පොල් ගස් 20,300ක් සඳහා පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් ලබා ගැනීමට එක් ගසකට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමටද කටයුතු කර ඇත.

මීට අමතරව, පොල් පැළ 37,500ක් ගොවීන් වෙත සහන මිලකට එක් පැළයක් රුපියල් 150 බැගින් ලබාදීමට නියමිතය.

වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී ගොවීන් වෙත සහනාධාර චෙක්පත්, පොල් හා තල් පැළ, පළිබෝධ පාලන ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ලබාදෙන ලදී. ගොවීන් සහ අපනයනකරුවන් වෙත සහතික පත්‍ර ලබාදීමද සිදු කිරීමට නියමිතව තිබිණි.

කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ගොවීන් 600කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර ආයතනවල සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සහභාගීත්වයෙන් නව පොල් ගම්මාන ස්ථාපිත කිරීමටද අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *