විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වීමේදී ඔවුන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීම සහ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම අරමුණු කරගත් “InSA” ව්‍යාපෘතිය ඔක්තෝබර් 1 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
“Integrated Systematic Approach for the Family Development of Migrant Workers” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අගෝස්තු 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගේ සභාපතිත්වයෙන් පැවති ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
මෙහිදී පවුල් සංවර්ධනය සඳහා ක්‍රමවත් සැලසුම් සකස් කිරීමේ වැදගත්කම කාරක සභා සාමාජිකයන් අවධාරණය කර ඇත. එම සැලසුම්වලට මූල්‍ය කළමනාකරණය, දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව, සුළු පරිමාණ ව්‍යාපාර සහ අපනයන සංවර්ධනය ඇතුළත් විය යුතු බවද පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත්ව යන අවස්ථාවලදී වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය තහවුරු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. වයස අවුරුදු දෙකට අඩු ළදරුවන් සම්බන්ධයෙන්ද දැනට පවතින නීතිමය හා පරිපාලන ක්‍රමවේද යටතේ අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මෙම වැඩසටහන යටතේ ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරීන් අදියර තුනකදී මැදිහත් වීමට නියමිතය. ඒ අනුව විදේශ රැකියාව සඳහා පිටත්වීමට පෙර, විදේශ රැකියාවේ නිරත වන කාලය තුළ සහ පවුල නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මෙම මැදිහත්වීම් සිදු කෙරේ.
එම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විකල්ප දරුවන්ගේ රැකවරණ සැලසුම් ප්‍රායෝගිකද යන්න තහවුරු කිරීම, ඇතිවිය හැකි අවදානම් හඳුනා ගැනීම සහ පවුල් සබඳතා ශක්තිමත් කිරීම සඳහා මනෝසමාජීය සහාය ලබාදීම සිදු කිරීමට නියමිතය.
මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් InSA කමිටු පිහිටුවීමට නියමිත අතර, ඒවා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වේ. ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එම කමිටුවලට සහාය ලබාදෙනු ඇත.
දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) ඇති කර ගැනීමටද යෝජනා කර ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
විදේශ රැකියා සඳහා පිටත්වන සියලුම ශ්‍රමිකයන් කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කමද කාරක සභාව අවධාරණය කර ඇත. සංචාරක වීසා වැනි අවිධිමත් මාර්ග ඔස්සේ විදේශගත වන පුද්ගලයන් පිළිබඳ නිල දත්ත නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා මතුවන බවද පෙන්වා දී තිබේ.
InSA ව්‍යාපෘතියේ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අධීක්ෂණය කිරීමට නියමිත අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2027 පෙබරවාරි මාසය වන විට කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


