ශ්‍රී ලංකාවේ අලෙවි වන පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් “වි-ප්‍රමිතී” (V-Pramithi) ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සහ ජාතික අඛණ්ඩතා සතියට සමගාමීව කොළඹ පිටකොටුව පොදු වෙළෙඳපොළේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදී.
ආරම්භක පරීක්ෂණ වැඩසටහනේදී වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, හකුරු, පැණි, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, කුළුබඩු සහ විදුලි උපකරණ ඇතුළු නිෂ්පාදනවල අහඹු සාම්පල ලබාගෙන ඒවායේ ගුණාත්මකභාවය, සංයුතිය සහ ආරක්ෂිත බව පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර වෙත යොමු කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ, ආහාර, පාන වර්ග සහ අනෙකුත් පාරිභෝගික නිෂ්පාදනවල විෂ ද්‍රව්‍ය, බැර ලෝහ වැනි හානිකර ද්‍රව්‍ය නොමැති බව තහවුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනේ අරමුණ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම, නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් අතර ගුණාත්මක ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීම සහ අනාරක්ෂිත නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම බව බලධාරීහු සඳහන් කළහ.


