පරස්පර ප්‍රකාශ ලබා දීමෙන් අසාද් සාලි බොරු සාක්ෂි දුන් බවට හෙළිවෙයි

පසුගිය අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පෙනි සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොමිසම විසින් ඊයේ (21) දැඩි ලෙස අවවාද දෙනු ලැබුවේය. කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමට අපහාස කිරිම සහ අපහාසාත්මක ලෙස හැසිරිම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසමට සාක්ෂි ලබා දීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ පැමිණියේය.

මෙහිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (21) දිනයේ ආසාද් සාලි මහතාගෙන් කොමිසම දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිටියේය.
එහිදි ඔහු සදහන් කළේ,

2017 වසරේ මාර්තු මස මාධ්‍ය හමුවක් පවත්වමින් පළමුවරට සහරාන් පිළිබඳව කරුණු ප්‍රකාශ කළත් ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගත් බවයි.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිසම අසාද් සාලි මහතාගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, සතියකට පෙර තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයා විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමේ ලිපියක් තමන්ට පෙන්වු බවත් එහි සහරාන්ගේ නම ද සඳහන්ව තිබු බවත් ප්‍රහාරයට පිළිබදව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්ද තිබු බවත්ය.

කෙසේවෙතත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ ප්‍රහාරය සිදුවු දිනයේදී තමන්ට අනතුරු ඇඟවීමේ ලිපිය තම පුද්ගලික ආරක්ෂකයා විසින් ලබාදුන් බවත් ඊට පසුව මෙම රැස්වීම පැවැත්වු බවත්ය.

එම අවස්ථාවේ කොමිසමේ විනිසුරු මඩුල්ල විසින් අසාද් සාලි මහතා ලබාදුන් ප්‍රකාශයේ පරස්පරභාවය පිළිබදව දැඩි අවධානය යොමුකළ අතර එම පරස්පර ප්‍රකාශයන් ලේඛනගත කිරීමද සිදුකරනු ලැබුවේය.

කොමිසමේ සාක්ෂි සටහන් කරගන්න අවස්ථාවේදි අසාද් සාලි මහතා විසින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියට නුසුදුසු ආකාරයට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් කොමිසම විසින් අවවාද කරනු ලැබූ අතර එම මහත්මියගේ ප්‍රශ්න කිරිම් හමුවේ අසාද් සාලි මහතා ආවේගශිලි ලෙස හැසිරිම පිළිබදවද එතුමිය සිය විරෝධයද කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියාය. එහිදි ඇයට ගෞරවාන්විතව ආමන්ත්‍රණය කර යුතු බවත් එම නියෝග පිළිනොගන්නේ නම් දඬුවම් ලබාදෙන බවටද ප්‍රධාන විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

ඉන් අනතුරුව අසාද් සාලි මහතා රජයේ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරියගෙන් සමාව ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *