නොමිලේ සහල් බෙදා හැරීමේ වැඩසටහන දියත් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29ක් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (26) දින ආරම්භ විය.

තිඹිරිගසාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙමටගොඩ, නාරාහේන්පිට සහ වැල්ලවත්ත යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වැඩසටහනේ කොටසක් ලෙස දෙමටගොඩ මිහිදුසෙන්පුර ප්‍රජා ශාලාවේදී සහල් ලාභීන් 995 දෙනෙකුට ද, නාරාහේන්පිට, දාබරේ මාවතේ ප්‍රජා ශාලාවේ දී සහල් ලාභීන් 448 දෙනෙකුට ද, සහල් සහල් ලාභීන් 169 දෙනෙකුට වැල්ලවවත්ත රංජන් විජේරත්නපුර ප්‍රජා ශාලාවේ දී ද පිරිනැමිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ රජයේ 2022/2023 මහ කන්නයේ සහල් මිලදී ගැනීමේ සහ සහල් තොග බැහැර කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස දෙකක් සඳහා නොමිලේ සහල් බෙදාදීම සිදු කෙරේ.

මෙම කාලය තුළ සෑම පවුලකටම මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලැබේ. මුලදී සහල් සහනාධාරය පවුල් ලක්ෂ 20ක් සඳහා ලබා දීමට අදහස් කළ නමුත් පසුව එය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවුල් ලක්ෂ 29ක් දක්වා ව්‍යාප්ත විය. වැඩසටහනේ පළමු අදියර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කෙරේ.

දෙමටගොඩ මිහිදුසෙන්පුර ප්‍රජා ශාලාවේ පැවති වැඩසටහන අමතමින් සාගල රත්නායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ආධාර ඇතිව ශ්‍රී ලංකාව දුෂ්කර කාලපරිච්ඡේදයක් තුළ කණපිට හැරවීමට සමත් වූ ආකාරය පැහැදිලි කළේය.

පසුගිය කාලයේ ගත් වැරදි තීරණ නිසා රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන් නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට වඩාත් සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් අනුගමනය කරමින් සිටින බව සාගල රත්නායක අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූවන් සමඟ සුහදව කතා කළ රත්නායක මහතා ඔවුන් මුහුණ දෙන ගැටලු කිහිපයකට සවන් දුන්නේය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *