නැවේ ගින්න හේතුවෙන් මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර කටයුතු තාවකාලිකව නතර කරයි

කොළඹ වරායට ආසන්න මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොමුකර ඇති බවය.

ඉදිරි දින දෙක ඇතුළත එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ හැකි බව පාලිත කිත්සිරි මහතා සඳහන් කළේය.

මේ අතර අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම තාවකාලික නතර කර තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ සාගර පරිසර පද්ධතිය සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ අවසන් වන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව නතර කර ඇති බවය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පසුගිය දින 3ක 4ක කාලය තුළ මේ නෞකාවේ ගින්න ඇති වූ දිනයේ සිට වෙරළ ආසන්නයේ ධීවර කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම අපි නවතා දමා තිබුණේ. විශේෂයෙන්ම මීගමුවේ. පහුගිය දින කිහිපයේ ධීවර වරායන් වෙත පැමිණි සියලු දෙනාම බහුදින ධීවර යාත්‍රාවල ඈත මුහුදේ සිට පැමිණි අය. ඒ නිසා කිසිම බියක් ඇති කරගත යුතු නෑ මත්ස්‍ය සම්පත පිළිබඳව. මේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු විශේෂයෙන්ම මීගමුව කලපුව අවට, මීගමුව වෙරළ ආසන්නයේ, කොළඹ වෙරළ ආසන්නයේ ධීවර කටයුතුවල යෙදෙන පිරිසට ධීවර කටයුතුවල යෙදෙන්න එපා කියලා අපි විශේෂයෙන් ඉල්ලීමක් කළා. ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවෙන්නෙත් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *