නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (13) පිළිගන්වනු ලැබුවා. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ යෝජනාවලිය මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ. මෙම යෝජනාවලිය යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසින් ජනාධිපතිවරයාට එය පිළිගැන්වීය.
අනතුරුව ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති අතින් සිදු කෙරුණු අතර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.