දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශවලට ස්මාර්ට් මීටර ළඟදීම හඳුන්වා දීමට සැරසෙයි.

දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමට කටයුතු සූදානම් කරමින් ස්මාර්ට් මීටර හඳුන්වාදීම කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළා.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පාරිභෝගිකයින් 31,000 කට ස්මාර්ට් බිල්පත් ලබා දෙන බවත්, අතින් කියවීමකින් තොරව විද්‍යුත් බිල්පත් සහ කෙටි පණිවුඩ ලෙස පාරිභෝගිකයාට බිල්පත් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යවරුන්ගේ උපදේශක කාරක සභා රැස්වීමේදීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී ඇති නව සම්බන්ධතා 36,000ක් පමණ සති 6ක කාලයක් තුළ ලබාදීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින මුල්‍ය ගැටලු හේතුවෙන් නව සම්බන්ධතා ලබාදීමට අවශ්‍ය උපකරණ හිඟයක් මතුව තිබූ අතර පසුගිය කාලයේ විදුලි බිල ඉහළ නැංවීමට ගත් පියවරත් සමඟ මණ්ඩලයේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම තුළින් නව සම්බන්ධතා ලබාදීමට හැකිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව සම්බන්ධතා ලබාගැනීමට විශාල පිරිසක් ලියාපදිංචි වී සිටියද සම්බන්ධතා ලබාදීමේ විශාල ප්‍රමාදයක් සිදුවන බවට මන්ත්‍රීවරුන් කාරක සභාවේදී කරුණු දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පිරිවැය අවම කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බව ද විජේසේකර අමාත්‍යවරයා පැවසීය.

QR කේතයේ ඉන්ධන කෝටා යාවත්කාලීන කිරීම අඟහරුවාදා දක්වා වෙනස් කිරීමෙන් ඛනිජ තෙල් සේවකයින්ට සෙනසුරාදා සහ ඉරිදා දිනවල ගෙවීමට ඇති රුපියල් මිලියන 20 කට ආසන්න අතිකාල වියදම් ඉතිරි කර ගත හැකි බව ඔහු අනාවරණය කළේය.

මෙම ආයතන සඳහා අලුතින් සේවකයන් බඳවා නොගන්නා බවත් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ කළමනාකාරීත්වය හරහා වියදම් හැකිතාක් අඩු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් කරන ලද අංක 2313/47 සහ අංක 2313/47 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග ද කමිටුව විසින් අනුමත කරන ලදී.

මෙම කමිටු සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, නාලක බණ්ඩාර කෝට්ටගොඩ යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *