කොවිඩ්

දිස්ත්‍රික්ක අතර සංචරණයත් සීමා කෙරේ

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගෙන තිබේ.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් ඇති බැවින්, එම ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතුයි.

ප්‍රතිඵල අනුව ආසාදනයට ලක්නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින්  PCR පරීක්ෂණය කෙරුණ ද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල  සිදුකරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කරනුයේ පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනමි පියවරක් ලෙසිනි. ඉන් ඔබ්බට ගොස් ඇඳිරි නීතිය පැනවීමෙන් රෝග ව්‍යාප්තිය මර්දනය අපේක්ෂා කෙරේ. එබැවින් ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත.

මේ අතර, භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරණය අත්හිටුවිමට ද තීරණය කර තිබේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදුකළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. 

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරිනීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබිණි.

මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *