සිංගප්පූරුවේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සමග තමා දුරකථන සංවාදයක යෙදුණු බවත්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටයේ කටහඬ තමාගේ බවත් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නීතිපතිවරයා ඉදිරියේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.
රජයේ සේවකයකුව සිටියදී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක් වන සොලිසිටර් ජනරාල් ධුරය දරමින් සිටියදී මෙලෙස විත්තිකරුවකු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කිරීම වෘත්තීය ආචාරධර්ම දැඩිව උල්ලංඝනය කිරීමක් මෙන්ම ඉතාම අයුතු සහගත සුළුකොට තැකිය නොහැකි බරපතළ වරදක් බැවින් ඇයට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් අද (23) රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දීමට නියමිතය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ වන තෙක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බවට දැනුම්දීමක් සිදුකර නොමැති නිසා ආයතන සංග්‍රහය අනුව එම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරනා තෙක් ඇයගේ සේවය අත්හිටුවා විමර්ශනය සඳහා සුදුසු නිලධාරියකු ද පත් කරන ලෙස නීතිපතිවරයා එමගින් රාජ්‍ය සේවා කොමිසන් සභාවට දැනුම් දීමට නියමිතය.
තමා විසින් මේජර් නිශ්ශංක සේනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ යම්කිසි දේශපාලන අවශ්‍යතාවක් මත බව ඇය නිශ්ශංක සේනාධිපති මහතා සමග සිදුකළ දුරකථන සංවාදය මගින් අනාවරණය කර තිබීම මත ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සමයේ කරනු ලැබූ සෙසු නඩුවලට ද විශාල අගතියක් සිදුවිය හැකි බව ද අල්ලස් කොමිසම් සභා ආරංචි මාර්ග කියයි.
මේ අතර ඇය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සටහන් කර ඇත්තේ දුරකතන සංවාදයේ සම්පූර්ණ විස්තරයම එළිකරන ලෙසත් එයට සම්බන්ධ රජයේ ඇමැතිවරයාගේ නම හෙළිකරන ලෙසත් ය.
(Image – Colombo gazette)