LK reports news sinhala

තරග දෙකකදී ගිලිහුණු ජය මාලිංග අවසන් තරගයේදී ගෙන එයි

නායක ලසිත් මාලිංගගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති තෙවැනි හා අවසන් තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. නමුත් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූයේ නවසීලන්තයයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණි. දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකිවූ අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 30ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් ඊට එක් කළහ. නවසීලන්තය වෙනුවෙන් ටොඩ් ඇස්ලේ කඩුලු 3ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත පිතිකරුවන් අසරණ කළ ලසිත් මාලිංග සිය දෙවැනි පන්දුවාරයේදී පිට පිටම පන්දු 4කින් කඩුලු 4ක් ලබාගත් අතර නවසීලන්තයේ ප්‍රබලම පිතිකරුවන් වූ කොලින් මුන්රෝ, රදර්ෆෝර්ඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ රොස් ටේලර් ඔහුගේ පන්දු හමුවේ දැවී ගියහ. නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූ නායක ටිම් සවුති නොදැවී ලකුණු 28ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර නවසීලන්ත සියලු දෙනා පන්දුවාර 16කදී දැවී ගියේ ලකුණු 88කටය. අති විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මාලිංග සිය පන්දුවාර 4 යවා ලකුණු 6කට කඩුලු 5ක් බිඳ හෙළීය.

තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංගටද තරගාවලියේ වීරයා සම්මානය ටිම් සවුතිටද හිමි විය.

මෙම තරගයේදී ලසිත් මාලිංග සිය විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100 ලබාගත් අතර එවැනි දස්කමක් කළ ලොව පළමු හා එකම ක්‍රීඩකයා ලෙසද වාර්තා පොත් අතරට එක්විය. මේ වනවිට ඔහු කඩුලු 104ක් ලබා ඇති අතර විස්සයි විස්ස, එක්දින හා ටෙස්ට් යන අංශ තුනේදීම කඩුලු 100කට වඩා බිඳ හෙළූ ලොව එකම පන්දු යවන්නා වීමේ අවස්ථාවද මාලිංගට උදාවිය. එසේම පිට පිටම පන්දු 4කදී කඩුලු 4ක් බිඳ හෙළමින් විස්සයි විස්ස පිටියේ එම දස්කම කළ ලොව දෙවැනියා බවට මාලිංග පත්විය. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් විසින් අයර්ලන්තයට එරෙහිව එවැනි දස්කමක් සිදුකර ඇති නමුත් ඔහු එම කඩුලු 4 බිඳ හෙළනු ලැබුවේ පන්දුවාර දෙකක් තුළය. ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩුලු ත්‍රිත්ව ලබා ඇති මාලිංග පිට පිටම කඩුලු 4ක් එක්දින පිටියේදී ද බිඳ හෙළමින් එම වාර්තාව සතු ලොව එකම ක්‍රීඩකයා බවට පත්ව ඇත. ඒ 2007 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු4ක් තුළ කඩුලු 4ක් දවා ගනිමිනි.

(Image – Cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *