කොරෝනා

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා පාලනයට සහාය වන්න – ජනපති

ජාතික වගකීමක් ලෙස සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ ඊයෙ(11) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයී.

රට තුළ කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීමට ගත යුතු තීරණ පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

විදේශවල සිට පැමිණි 685 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටින බවත්, ඔවුන්ට ලබාදිය හැකි උපරිම පහසුකම්ද ලබාදී ඇති බවත් මෙහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දියතලාව මධ්‍යස්ථානයද නිරෝධායනය සඳහා සුදානම් කර තිබෙන අතර නිරෝධායනයෙන් පසු ඒ පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමටද මෙහිදී තීරණය වූ අතර විදේශිකයින් සඳහා මෙරට ගුවන්තොටුපොළේදී වීසා ලබාගැනීමේ පහසුකම හෙවත් ON ARRIVAL වීසා පහසුකම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කණ්ඩායම් වශයෙන් වෙනත් රටවල කෙරෙන සංචාර වහාම නැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර හිඟයකින් තොරව ඖෂධ හා අවශ්‍ය පහසුකම් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *