ජපානයේ දකුණු කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් රැසක් සිරවී ඇති බව ජපාන ජාතික විකාශක NHK වාර්තා කරයි.
භූමිකම්පාවෙන් පසු සාප්පු සංකීර්ණයක කොටසක් කඩා වැටී ඇති අතර, එහි සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම කඩදාසි කර්මාන්ත ශාලාවක කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු නොමැති බවත්, අධිවේගී මාර්ගයක පාලමකට හානි සිදුවී ඇති බවත්, තවත් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවත් NHK සඳහන් කර තිබේ.
එක් රෝහලකින් පුද්ගලයන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා කර ඇති අතර, භූමිකම්පාව සිදුවන අවස්ථාවේ අධිවේගී දුම්රියක සිටි කිහිප දෙනෙකුටද තුවාල සිදුව ඇති බව ජපානයේ Nikkei පුවත්පත වාර්තා කරයි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ (JMA) නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, වැඩිම කම්පන දැනුණු ප්‍රදේශවල ජනතාව ඉදිරි සතියක පමණ කාලයක් තුළ තවත් ප්‍රබල භූමිකම්පා ඇතිවීමේ අවදානම සහ නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.


