ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූ අතර ප්රගතිශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්රගතිශීලි රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති රැසක ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහූ ඊට එක්ව සිටියහ.
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් දීම කෙරෙහි තමා අවධානය යොමුකර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.
සුළු පිරිසකගෙන් එල්ලවන බාධා නොතකා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනයට රජය කැපවී සිටන බවත් සම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාකාරකම් වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල්වන සංකල්පමය වෙනසක් සියලු වෘත්තීය සමිතිවලින් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.