චීනය ශ්‍රී ලංකාවට පැමිණෙන පුරවැසියන්ට උපදෙස් නිකුත් කරයි

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයින්ට ජාතියේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මෙසේ පැවසීය. “ව්‍යාපාර, රැකියා, අධ්‍යයනය සහ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම චීන පුරවැසියන් ශ්‍රී ලංකාවේ නීති හා රෙගුලාසිවලට දැඩි ලෙස පිළිපැදිය යුතු අතර දේශීය ආගමික හා සංස්කෘතික සිරිත් විරිත්වලට ගරු කළ යුතුය.”

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් චීන ජාතිකයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ බවට පසුගියදා වාර්තා වීමත් සමඟයි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.

පසුගිය සතියේ (17) ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සෙසු චීන ජාතිකයෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු සමඟයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම චීන ජාතිකයා නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවා තබා ගැනීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, අදාළ චීන ජාතිකයා විදේශ ආයෝජකයෙකු බව ප්‍රකාශ කළ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ උපදෙස් මත මෙම පිරිස නිදහස් කර තිබේ.

තම අමාත්‍යාංශය යටතේ පවතින නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණි බව පවසමින් රාජ්‍ය අමාත්‍යවරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් චීන ජාතික මගියාට මෙරටට ඇතුළුවීමට අවසර දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ චීන ජාතිකයාට එරෙහිව රජය පියවර ගැනීමට නියමිත බවත්, කොළඹ චීන තානාපති කාර්යාලයේ උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

අවශ්‍ය පරීක්‍ෂණවලින් අනතුරුව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *