කොරෝනා වෛරසය කොරියාවටත්, ආසියාවේ පැතිර යාහැකි බවට විශ්වාසයක්

චීනය අළුත් අවුරුද්ද ජනවාරි 25ට යෙදී ඇති වකවානුවක එරට බොහෝ ස්ථාන ජනාකීර්ණ වී ඇති බැවින් හා එම කාල සිමාව තුළ ලක්ෂ ගණන් චීන ජාතිකයින් විදෙස් සංචාර වල යෙදෙන බැවින්ද කොරෝනා වෛරසය තවදුරටත් පැතිරයාමේ දැඩි අවධානමක් මතුවී තිබේ. වෛරසය මුලින් හඳුනාගත් වුහාන් නගරයෙන් ඔබ්බට පැතිරීම නිසා තවත් රෝගීන් 139 ක් වාර්තා වී ඇති අතර මේ වනවිට පුද්ගලයින් තිදෙනෙක් මරණයට පත්වී තිබෙනවා. මෙම රෝගීන් තිදෙනාම වෛරසය ව්‍යාප්ත වූ ස්ථානය ලෙස සැලකෙන වුහාන් නගරයට පැමිණ ඇති බවට හෙලිවී තිබේ.

චීනයෙන් පිටත ජපානය, තායිලන්තය යන රටවල් දෙකට අමතරව කොරියාවටද මෙම වෛරසය පැතිරී ඇති බවට මේ වනවිට විදෙස් වාර්තා පළ වී තිබේ. ඒ ඊයේ (19) දිනයේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වුහාන් සිට කොරියාවේ සෝල් හි ඉන්චියොන් ගුවන්තොටුපළට පැමිණීමත් සමගයි. ඇය අසාධ්‍ය තත්වයකින් තොරව ස්ථාවර තත්වයෙන් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. වුහාන්හි පදිංචි මෙම කාන්තාව තවත් පස් දෙනෙකු සමඟ දකුණු කොරියාවේ සහ ජපානයේ නිවාඩුවක් ගත කිරීමට යාමට සැලසුම් කර තිබුණි. කොරියාවේ රෝග පාලනය සදහා වූ මධ්‍යස්ථානයට (KCDC) අනුව සෙනසුරාදා ඇයට උණ සහ මාංශ පේශි වේදනාවක් ඇති වූ අතර වුහාන් හි වෛද්‍යවරයකු විසින් සීතල ඖෂධද නියම කර තිබෙන බවටත් වාර්තා වේ.

මීට අතර හොංකොං චීන විශ්ව විද්‍යාලයේ ශ්වසන රෝග විශේෂඥ මහාචාර්ය ඩේවිඩ් හුයි ෂු-චියොන්ග් CNN ප්‍රවෘත්ති සේවය සමග පවසා ඇත්තේ “චීන සංචාරකයින් අලුත් අවුරුදු නිවාඩු කාළ සීමාව තුළ, ඔවුන්ගේ විදේශ සංචාර හේතුවෙන් ඉදිරි දිනවලදී ආසියාවේ වෙනත් බොහෝ රටවලට මෙම වෛරසය ව්‍යාප්ත කරනු ඇති බවට විශ්වාසය පලකරනා” බවයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත්තේ පුද්ගලයන් හොඳින් අත් සේදීම, කිවිසුම් යන විට නාසය ආවරණය කිරීම, මස් හා බිත්තර හොඳින් පිසීම සහ වන සතුන් හෝ ගොවිපල සතුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිට වෛරසයෙන් ආරක්ෂා විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *