කිරිපිටි පරිභෝජනය හානිකර බව GMOA කරන ප්‍රකාශ බොරු

ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන ප්‍රමුඛයන් වන ෆොන්ටෙරා, මැලිබන් සහ ඩයමන් කිරි නිෂ්පාදන ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ නවසීලන්තයෙන් ආනයනය කිරන කිරිපිටි පරිභෝජනයට හානිකර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMO) කරන ප්‍රකාශ පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් එමගින් ශ්‍රී ලාංකික ජනතාව අතර අනවශ්‍ය භීතියක් ඇතිවී ඇති බවත්ය.

ආනයනකරුවන් අවධාරණය කරන්නේ කිරිපිටි මගින් පිළිකා ඇතුළු රෝග ඇති වන බවට විද්‍යාත්මක පදනමක් හෝ සාධාරණීකරණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනිසෙෆ් ඇතුලු සිදු ලෝක සෞඛ්‍ය අධිකාරියකින් මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවය.

ආනයනික කිරිපිටි නිෂ්පාදනය සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන බවට වන චෝදනා මෑතදී පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) අතුරු වාර්තාව මගින්ද සනාථ කර නොමැති බව ආනයනකරුවන් තවදුරටත් අවධාරණය කළ අතර ජර්මනියේ ස්වාධීන විද්‍යාගාරයක් වන යුරෝෆින්ස් විසින් කරන ලද පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් CAA අතුරු වාර්තාවෙන් හෙළි වන්නේ නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටිවල කිසිදු ආකාරයක රසායනික මිශ්‍රණයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

ආනයනික කිරිපිටි සෑම විටම අවශ්‍ය නියාමන ප්‍රමිතීන් සපුරා ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් විසින් අඛණ්ඩව පරීක්ෂා කිරීම සහ නිරීක්ෂණය කිරීම සහතික කරන බවත් ආනයනික කිරිපිටි රට තුළට පිළිගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආහාර රසායනාගාර විසින් සිදුකරන දැඩි ආනයන නිෂ්කාශන සහ පරීක්ෂණ ක්‍රියාවලීන් මෙයට ඇතුළත් බවත් ඔවූහු වැඩිදුරටත් පැවසුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *