කල් ඉකුත් වූ බීම අලෙවියට කොට්ටාව සහ හෝමාගම Arpico Super ශාඛා දෙකට රුපියල් 125,000ක දඩ

කල් ඉකුත් වූ බීම වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කොට්ටාව සහ හෝමාගම Arpico Super වෙළෙඳසැල් දෙකට රුපියල් 125,000ක දඩයක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් වෙන වෙනම සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව Richard Pieris Distributors සමාගමට එරෙහිව මෙම නඩු පවරා තිබේ.

කොට්ටාව Arpico Super වෙළෙඳසැලේ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ මිලිලීටර් 200 නිල් කටරොළු බීම බෝතල්වල කල් ඉකුත් වීමේ දිනය 2026 මැයි 9 වැනිදා ලෙස සටහන්ව තිබියදීත් ඒවා අලෙවිය සඳහා තබා තිබීම හේතුවෙන් රුපියල් 75,000ක දඩයක් නියම කර ඇත.

එමෙන්ම, හෝමාගම ඇවිස්සාවේල්ල මාර්ගයේ පිහිටි Arpico Super Center වෙළෙඳසැලේ කල් ඉකුත් වූ ලීටර් එකක සිසිල් බීම පැකට් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් රුපියල් 50,000ක දඩයක් නියම කර තිබේ. එම නිෂ්පාදනවල කල් ඉකුත් වීමේ දිනය 2026 අප්‍රේල් 12 වැනිදා ලෙස සටහන්ව තිබූ බවද අධිකාරිය සඳහන් කරයි.

මෙම නිෂ්පාදන පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මෙම නඩු සැප්තැම්බර් 10 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවලට වරද පිළිගෙන තිබේ.

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම ස්ථානයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ කල් ඉකුත් වීමේ දිනය සහ නිෂ්පාදන දිනය පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කරන ලෙසද පාරිභෝගිකයන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *