ජපාන සංචාරකයන් 200 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එක් ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මෙය දෙරට අතර සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් දිරිගන්වනසුලු වර්ධනයක් බවයි.
Little Japan Group විසින් සංවිධානය කළ මෙම සංචාරක කණ්ඩායම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL455 ගුවන් යානයෙන් ටෝකියෝ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මහාචාර්ය පවිත්‍ර ජානක කුමාරසිංහ මහතා සහ පළමු ලේකම් (වාණිජ) සඳුන් සමීර මහතා ගුවන් තොටුපළේදී ඔවුන් හමුවී පිටත්ව යාමට පෙර සුබ පැතුම් එක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ සංචාරකයන් සීගිරිය ඇතුළු ජනප්‍රිය සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක සංචාරය කිරීමටත්, සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර සහ සුවතා සේවා අත්විඳීමටත් නියමිතය.
Little Japan Group විසින් සංවිධානය කළ මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සහාය, මඟපෙන්වීම සහ පහසුකම් සැලසීම ලබාදී තිබේ.
එක් ගුවන් යානයකින් ජපාන සංචාරකයන් 200 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීම, එකවර ශ්‍රී ලංකාවට පැමිණෙන විශාලතම සංවිධානාත්මක ජපාන සංචාරක කණ්ඩායම් අතරින් එකක් බව තානාපති කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ජපාන සංචාරකයන් අතර ශ්‍රී ලංකාව කෙරෙහි වර්ධනය වෙමින් පවතින උනන්දුව මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් දෙරට අතර සංචාරක හුවමාරු තවදුරටත් ශක්තිමත් කරගත හැකි බවද ඔහු පැවසීය.
ජපානයෙන් පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාම ශ්‍රී ලංකාවට මීට පෙර වාර්තා කළ සංචාරක පැමිණීම් වාර්තා අභිබවා යාමට දායක වනු ඇතැයිද තානාපතිවරයා බලාපොරොත්තු පළ කළේය.



