ඉදිරි ප්‍රහාර මාලාවක් ගැන අනතුරු අඟවන ලිපි කාගේද?

නැවත වරක් පාස්කු ප්‍රහාරය බඳු අවාසනාවන්ත තත්වයකට හේතුවන ප්‍රහාර මාලාවක් පිළිබඳ බිය ඇති කරවන ආරංචි සහිත අනතුරු ඇඟවීම් ලිපි කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සැරිසන්නට පටන්ගෙන තිබේ.

මෙම ආකාරයේ ලිපි 2 ක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලද අවධානය යොමුවී තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලිපි ශිර්ෂයක දැක්වෙන ඔක්තෝබර් 1 දිනය යෙදූ ලිපියකින් කියැවෙන්නේ අගරදගුරුතුමන් ජනපතිවරයාට යැවූ ලිපියකින් ඔක්තෝබර් 15-25 අතර කිතුණු දේවස්ථාන වලට ප්‍රහාර එල්ලවීමේ තර්ජනයක් ගැන දන්වා ඇති බවයි. ඒ නිසා මේ ගැන ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන්නට ඉහළින් උපදෙස් දීමක් ගැන එහි කියැවේ. ඒ ගැන ආරක්ෂක මාණ්ඩලික රැස්වීමක්ද පවත්වා ඇති බව එහි දැක්වේ. එම ලිපියට අත්සන් තැබූ ප්‍රධානියාගේ නම කොළයකින් වසා ඡායාරූපය ලබාගෙන සමාජ මාධ්‍ය වෙත යොමු කර ඇති අතර ලිපිය යොමුකර ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙතය.

දෙවැනි ලිපිය කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති ලියූවකි. කොළඹ හෝටල් 10ක් ඉලක්ක කර එම හෝටල්වල නම්ද සහිතව ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇත. අදාළ හෝටල්වෙත දන්වා ඇති පරිදි ඉදිරි දිනවල තම තමන්ගේ හෝටල්වලට එන සංචාරකයින් දැඩි පරීක්ෂාවට ලක්කරන ලෙසත් ඔවුන්ගේ ලියාපදිංචි විස්තර සෑම දිනකම පෙරවරු 9ට පොලිසියට යොමු කරන ලෙසත් ඉල්ලා ඇත.

මෙම ලිපි සම්බන්ධයෙන් මේ දක්වා රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර මේ සම්බන්ධයෙන් බුද්ධි අංශද තහවුරු කර නැතැයි වාර්තා වේ.

මීට පෙරද මෙවැනිම ලිපි පෙළක් සංසරණය වී ඇති බව පාස්කු ප්‍රහාරයේ අඳුරු මතක ගැන අවධානය යොමුකරන විට අපට සිහිපත් වේ. එමනිසා මේ පිළිබඳව රජයේ වගකිව යුතු නිලධාරියෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම ඉතාමත් කාලෝචිත වනු ඇත.
පසුගිය පාස්කු ප්‍රහාරය අවසානයේ දී ද දේශපාලන නායකයන් සහ ආරක්ෂක නිලාධාරින් පැවසු කරුණු එකිනෙකට පරස්පර වාගේම වගකීම විරහිත ප්‍රකාශ විය. එම නිසා රට නැවත යතා තත්වයට පත් කරගැනීමට බොහෝ කාලයක් ගතවිය. අදට ද සමස්ථ මුස්ලිම් ජනයා දෙස අන්‍ය ජාතින් බලන්නේ තරමක චකිතයකිනි. එය ජාතින් අතර අනවශ්‍ය ගැටළු ඇති වීමට පවා හේතුවක් වී ඇත. මෙය පැහැදිලිවම දේශපාලන වාසි වෙනුවෙන් මාධ්‍ය සංදර්ශනයක් සඳහා යොදවා ගැනීම ඉතා භයානක ය. මන්ද ප්‍රහාරයකට අදාළ මෙවන් බුද්ධි තොරතුරු සමාජගත වීම ආරක්ෂක කටයුතු වලට ඉතා හානිකරය. එමෙන්ම එම බුද්ධි තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ ජීවිත වලට ද අනවශ්‍ය තර්ජනයක් ඇති කරනු ඇත.

කෙසේ වෙතත් මෙවැනි ආරක්ෂාව සම්බන්ධ ලිපි සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් මේ පිළිබඳව ආරක්ෂක අංශ මහජනතාව දැනුවත් නොකිරීමත් රජයේ අකාර්යක්‍ෂමතාව පෙන්වන්නක් සේම ශ්‍රී ලංකාව තවදුරටත් ඉන්න හිතෙන රටක් දැයි මහජනතාවට සිතීමට මෙයද තවත් එක් හේතුවක් වනු ඇත.

(තොරතුරු – gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *