“අවදානම් ලෙස බස් ධාවනය කරන රියැදුරන් ගැන දැනුම් දෙන්න” පොලිසියෙන් ජනතාවට WhatsApp අංකයක්

බරපතළ මාර්ග අනතුරු අවම කිරීම සඳහා අවදානම් ලෙස බස් රථ ධාවනය කරන රියැදුරන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ජනතාවට විශේෂ WhatsApp දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව 070 4755600 යන WhatsApp අංකයට එවැනි රියැදුරන් සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇතුළු තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ පරාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම WhatsApp අංකයට මේ වනවිටත් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

එම පැමිණිලි අතර ඩෑෂ් කැම් දර්ශන සහ ජංගම දුරකථන මගින් පටිගත කළ වීඩියෝ දර්ශනද ඇතුළත් බව ඔහු සඳහන් කළේය.

ලැබී ඇති තොරතුරුවලින් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියැදුරන් සම්බන්ධයෙන් වන අතර, පොලිසිය පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිතය මාර්ග අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් ධාවනය කළ බවට හඳුනාගත් රියැදුරන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමටද පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හඳුනාගත් බස් කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

“බස් රථයේ අංක තහඩුව සහ මාර්ග අංකය පැහැදිලිව පෙනෙන වීඩියෝ සාක්ෂි අප වෙත එවන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා,” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා අවධාරණය කළේය.

අවදානම් සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම, තරගකාරී ලෙස වාහන ධාවනය කිරීම, මාර්ගය මැද වාහන නතර කිරීම, රථවාහන සංඥා නොතකා ධාවනය කිරීම සහ අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන්ද මෙම WhatsApp අංකයට තොරතුරු ලබාදිය හැකිය.

මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන්ද ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පොලිසිය පවසයි.

නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් දැඩි කිරීම සඳහා විශාල ප්‍රමාණයක් ඇල්කොහොල් පරීක්ෂා කරන උපකරණ හෙවත් බ්‍රෙත්ලයිසර් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාහැර තිබේ.

ඒ අනුව මගී බස් රථ රියැදුරන්, ත්‍රිරෝද රථ රියැදුරන් සහ ටිපර් රථ වැනි බර වාහන ධාවනය කරන රියැදුරන් ඉලක්ක කර පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා පැවසීය.

ජනතාවගෙන් ලැබෙන තොරතුරු, වැටලීම් තීව්‍ර කිරීම සහ බීමත්ව රිය ධාවනය කිරීම පරීක්ෂා කිරීම පුළුල් කිරීම යන ඒකාබද්ධ ක්‍රියාමාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ දිනපතා සිදුවන බරපතළ මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *